දරුවෙකු බිහි කිරීමට පැය හතක් ඔටුවෙකු පිට ගමන් කළ කතක්

Mona and Jarrah

ඡායාරූප මූලාශ්‍රය, Sadam Alolofy/Unfpa

ඡායාරූප ශීර්ෂ වැකිය, මෝනා සිය පුතු ජරාහ් සමග වයඹදිග යේමනයේ මහ්වීට්හි පිහිටි ඇගේ නිවසේ දී
    • Author, චාර්ලීන් ඈන් රොඩ්‍රිගස්
    • Role, බීබීසී පුවත්

මෝනාට විලිරුදාව ඇති වන විට, ඇගේ පිහිටට සිටියේ ඔටුවෙකි.

මෝනා බලාපොරොත්තු වූයේ, ගල් සහිත කඳු පන්තියක මුදුනේ පිහිටි ඇගේ නිවසේ සිට රෝහල දක්වා ඇති කිලෝමීටර් 40ක දුර පැය හතරකින් පමණ ආවරණය කළ හැකිබව ය. එහෙත්, විලිරුදාවෙන් සහ අයහපත් කාලගුණයෙන් පීඩා විඳිමින් සිටි මෝනාට, නිසි මාර්ගයක් නොමැති එම දුර ගමන් කිරීමට පැය හතක කාලයක් ගත විය.

"ඔටුවා ඉදිරියට තියපු හැම අඩියකදී ම මට දැනුණේ මගේ ඇඟ ඉරිලා යනවා වගේ," ඇය පැවසීය.

ඔටුවාට තවදුරට ත් ඉදිරියට යාමට නොහැකි වූ අවස්ථාවේ දී, ගමනේ අවසාන අදියර ස්වාමි පුරුෂයා සමග පා ගමනින්ම යෑමට මෝනාට සිදුවිය.

වයඹදිග යේමනයේ මහ්වීට් පළාතේ දහස් ගණනක් කාන්තාවන් වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් සලසන එක ම රෝහල බානි සාද් රෝහල ය. අල්-මකාරා ප්‍රදේශයේ පිහිටි මෝනාගේ නිවසේ සිට අනතුරුදායක කඳු හරහා රෝහල් පහසුකම් ලබා ගැනීමට යා හැක්කේ ඔටුවෙකු පිට නැග හෝ පයින් ගමන් කිරීමෙන් පමණි.

ඔටුවා මත එල්ලීගෙන සිටිද්දී, මෝනාට තමාගේ පමණක් නොව මෙලොව එළිය දැකීමට සිටින දරුවාගේ ආරක්ෂාව ගැන ද බියක් දැනිණි.

"පාරේ ලොකු ගල් තිබුණා," සිය "කායික සහ මානසිකව වෙහෙසකර ගමන" ආවර්ජනය කරමින් ඇය පැවසීය‍.

"මට මගේ වේදනාවෙන් ගැලවෙන්න පුළුවන් වෙන්න මාව අරගෙන, මගේ දරුවා ආරක්ෂා කරන්න කියලා ත් සමහර වෙලාවල මම දෙවියන්ට යාච්ඤා කළා."

Pregnant women on camels

ඡායාරූප මූලාශ්‍රය, Sadam Alolofy/Unfpa

ඡායාරූප ශීර්ෂ වැකිය, ගැබිනි මව්වරු පළාතේ පිහිටි එක ම රෝහල වන බානි සාද් කරා ගමන් කරති

රෝහලට ළඟා වූ මොහොත පිළිබඳව මෝනාට මතකයක් නැත ත්, වින්නඹු කාන්තාවන් සහ ශල්‍ය වෛද්‍යවරුන් අත සිටි දරුවා අඬන හඬ ඇසුණු පසු ඇය බලාපොරොත්තුවෙන් පිරී ගියා ය.

ඇගේ ස්වාමි පුරුෂයා සහ ඇය දරුවාට තැබුවේ, ඔවුන් බේරාගත් ශල්‍ය වෛද්‍යවරයාගේ නම වූ 'ජරාහ්' යන්න යි.

අවට ගම්මානවල සිට රෝහල කරා වැටී ඇති මාර්ග ඉතා පටු ය. යේමන හිතවාදී සෞදි ප්‍රමුඛ සංධානය සහ ඉරානයේ සහය ලබන හූති කැරලිකරුවන් අතර වසර අටක් තිස්සේ පැවැත්වෙන යුද්ධය හේතුවෙන් ඇතැම් මාර්ග විනාශ වී හෝ අවහිර වී තිබේ.

කාන්තාවෝ, පවුලේ සාමාජිකයෝ හෝ සහකරුවෝ බොහෝ විට ගැබිනි කාන්තාවන්ට කඳුකරය හරහා පැය ගණනක් තිස්සේ රෝහලට යාමට උපකාර කරති.

ගැබිනි මවක සමග යමින් සිටි 33 හැවිරිදි සල්මා අබ්දු පැවසුවේ, රෝහල කරා ගිය ගමන අතරමඟ දී, එම ගමනෙහිම යෙදෙමින් හිඳ රාත්‍රියේ දී මියගිය ගැබිනි කාන්තාවක ඇය දුටු බව ය.

කාන්තාවන්ට සහ දරුවන්ට අනුකම්පා කරන ලෙස සල්මා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

"අපට පාරවල්, ඉස්පිරිතාල, ෆාමසි ඕනයි. මේ නිම්නයේ අපි තනිවෙලා. වාසනාවන්ත අය ආරක්ෂිතව දරුවන් බිහිකරනවා. අනික් අය, මේ දුෂ්කර ගමනේ පීඩාව විඳිලාම මැරිලා යනවා," ඇය පැවසීය.

ඇතැම් පවුල්වලට රෝහලට ගෙවීමට හැකියාවක් ඇත ත්, රෝහල කරා යාමට අවශ්‍ය මූල්‍යමය හැකියාව නැත‍.

යේමනයේ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ (UNFPA) හිචාම් නාරෝ පවසන පරිදි සෑම පැය දෙකකට වරක් වළක්වාගත හැකි හේතු නිසා දරු ප්‍රසූතියේ දී යේමනයේ කාන්තාවක් මියයයි.

යේමනයේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන කාන්තාවන් රුධිර වහනයක් සිදුවුවහොත් හෝ දැඩි වේදනාවක් ඇතිවුවහොත් මිස, සාමාන්‍යයෙන් නිතිපතා වෛද්‍ය පරීක්‍ෂාවන්ට ලක්වන්නේ හෝ උපකාර පතන්නේ නැතැ යි නාරෝ පැවසීය.

The only surviving hospital in the village

ඡායාරූප මූලාශ්‍රය, Sadam Alolofy/Unfpa

ඡායාරූප ශීර්ෂ වැකිය, බානි සාද් වැනි රෝහල් සඳහා ජාත්‍යන්තර අරමුදල් ගලා ඒම ක්ෂයවෙමින් පවතියි

දක්ෂ වෛද්‍යවරයෙකුගේ සහය ලබාගත හැක්කේ උපත්වලින් අඩකටත් අඩු ප්‍රමාණයකට වන අතර, සෞඛ්‍ය පහසුකම් සහිත ස්ථානයක සිදුවන්නේ උපත්වලින් තුනෙන් එකක් පමණක් බව UNFPA පවසයි. යේමනයේ ජනගහණයෙන් පහෙන් දෙකක් පමණ වාසය කරනුයේ, ළඟම ඇති අංගසම්පූර්ණ රෝහලට පැයකට වඩා ඈතිනි.

යේමනයේ බිඳ වැටුණු සෞඛ්‍ය සේවා පද්ධතිය යුද්ධයට පෙර සිට ම පැවතියේ අර්බුදකාරී තත්ත්වයක ය. කෙසේ වෙතත්, යුද්ධය යේමනයේ රෝහල් සහ මාර්ගවලට පුළුල් හානියක් සිදු කර ඇති අතර, දුෂ්කරතාවකින් තොරව ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

රෝහල්වල සුදුසුකම්ලත් කාර්ය මණ්ඩලය, උපකරණ සහ ඖෂධ හිඟයක් පවතින අතර මාර්ග සහ යටිතල පහසුකම් සඳහා වන ආයෝජන ඇණහිට ඇත.

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල පවසන පරිදි, ක්‍රියාත්මක වන රෝහල් අතරින් විශ්වසනීය මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවාවක් සැපයිය හැක්කේ රෝහල් පහකින් එකකට පමණි.

'මම හිතුවේ ඒක මගේ අවසානෙ කියලා'

මෝනාගේ කතාව, දුෂ්කර යේමනයේ ගැබිනි මව්වරුන්ගේ තවත් එක් කතාවක් පමණි. ජනගහණයෙන් 80%කට වැඩි ප්‍රතිශතයක් ආධාරවලින් යැපෙන යේමනයේ සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට මෝටර් රථයක් හිමිකර ගැනීමේ සිහිනය ඉටුකර ගත නොහැකි මට්ටමක පවතියි.

හයිලාගේ ස්වාමි පුරුෂයා සෞදි අරාබියේ සේවය කරන විට ඉතිරිකර ගත් සුළු මුදලින්, ණයටගත් යතුරු පැදියකින් සිය බිරිඳ රෝහලට රැගෙන යෑමේ මඟක් තහවුරු කරගෙන තිබිණි.

ඇගේ භෲණ තරලය (water bag) බිඳුණු අවස්ථාවේ, ඇගේ මස්සිනා ඇය යතුරු පැදියට තබා බැඳගෙන නිවසින් පිටත්විය. එහෙත්, අතරමඟ දී ඇය බිම ඇද වැටුණා ය.

ඔවුන් ධමාර්හි හදාකා සෞඛ්‍ය මධ්‍යස්ථානයට ගිය පසු, හයිලා වහා ම ශල්‍ය වාට්ටුව වෙත යොමු කරන ලදී‍.

"මම හිතුවෙ ඒක මගේ අවසානෙ කියලා," 30 හැවිරිදි හයිලා පැවසීය. "මටයි ම‌ගේ නූපන් දරුවාටයි බේරෙන්න මාර්ගයක් තිබුණෙ නෑ."

දරුණු රුධිර වහනය සහ වෙනත් ගර්භනී සංකූලතා ඇතිවීමේ අවදානම හේතුවෙන් නිවසේ දී දරු ප්‍රසූතිය සිදු කිරීම යහපත් විකල්පයක් නොවන බවට ගර්භනීභාවයේ මුල් අවධියේ දී ඇයට අනතුරු අඟවා තිබිණි.

සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා පැවසුවේ, හයිලා සහ දරුවා අවසන් මිනිත්තුවේ දී බේරා ගැනීමට හැකි වූ බව ය.

ඇය සිය අලුත උපන් දැරිය නම් කළේ 'අමල්' යනුවෙනි. අරාබි බසින් එහි අර්ථය "අපේක්ෂාව" යන්න ය.

"යුද්ධය නිසා මට මගේ ජීවිතය ත්, දරුවා ත් අහිමි වෙන්න ඔන්න මෙන්න තිබුණේ. ඒත් මේ දරුවා මට බලාපොරොත්තුවක් දුන්නා," ඇය පැවසීය.

ජාත්‍යන්තර අරමුදල් ක්ෂය වීම ත් සමග, බානි සාද් රෝහල වැනි මධ්‍යස්ථාන මූල්‍යමය වශයෙන් තවදුරටත් දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ.‍ බේරාගත හැක්කේ කවුරුන් ද යන පදනම මත ප්‍රමුඛත්වය දීමට සිදුවනු ඇති හෙයින්, සෞඛ්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය මව්වරුන්ගේ සහ ළදරුවන්ගේ අනාගතය ගැන බියෙන් පසුවෙයි.

අතිරේක වාර්තාකරණය - ෆුආද් රාජේ සහ මොහොමඩ් අල් ඛලිසි