ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුක්රේන යුද්ධය: අර්බුදයෙන් ඇතිකළ මානසික කැළැල් සුවපත් කිරීම
- Author, ජේම්ස් වෝටර්හවුස්
- Role, බීබීසී යුක්රේන වාර්තාකරු, කාර්කිව් කලාපය
"නිදාගන්න ගියාම ඒවා පේනවා; අහිමිවෙච්ච සහෝදර සෙබළු; අතපය නැතුව [හිටි] එයාලව මම පිටතට ඇදගත්ත හැටි; එයාලා මගෙ අත්දෙක උඩ මැරිලා ගිය හැටි."
"මේවා අපේ ජීවිත කාලෙ පුරාවටම අපි එක්ක ඒවි."
දිමිත්‍රෝගේ දෑස අඳුරකින් මුවා වී ඇත - ඒ, මෑතක දී යුද පෙරමුණේ සිට ආපසු පැමිණි සොල්දාදුවෙකුගේ දෑස්ය.
මාස 15ක් ඩොනෙට්ස්ක් කලාපයේ සටනෙහි යෙදීමෙන් පසු, ඊසානදිග යුක්රේනයේ ප්‍රතිසාධන මධ්‍යස්ථානයක දී දිමිත්‍රෝ තම බිරිඳ ටෙටියානාගේ අත තදින් අල්ලාගෙන සිටියි.
දිමිත්‍රෝට සතියක නිවාඩුවක් ලැබීමෙන් පසු, ඇය කාර්කිව් කලාපයේ පිහිටි මේ හානි නොවූ ගොඩනැගිලි සමූහය දක්වා කිලෝමීටර් 966ක දුරක් ගෙවා පැමිණ තිබුණි.
පසුගිය වසරේ දී උපදේශන සහ භෞතචිකිත්සාව ලබාගැනීම සඳහා 2000ක පමණ භට පිරිසක් මෙහි පැමිණියහ. මෙය පුනරුත්ථාපනයක් නොව විවේකයක් පමණක් බව සංවිධායකයෝ පිළිගනිති. බොහෝ දෙනෙක් ආපසු සටන් පෙරමුණ බලාගියහ.
මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය පවසන්නේ, සිය සොල්දාදුවන් "අවසානය දක්වා නැගී සිටීමට" හැකිවන පරිදි තබාගැනීමට යුක්රේනය උත්සාහ කරන බවයි.
"අපි අපේ ජීවිත කාලය පුරාවටම ඒකෙ ප්‍රතිවිපාක විඳීවී," දෑස් තෙත් වෙද්දී දිමිත්‍රෝ පවසයි.
යුද්ධය අවසන් වන තුරු සිය රැවුල නොකපනබවට දිමිත්‍රෝ පොරොන්දුවී ඇත. එහි දිග, රුසියානු ආක්‍රමණයේ සිට ගෙවුණු දින 400කට වැඩි කාලය පිළිබිඹු කරයි.
සිය සැමියා ඔහුගේ පෙනුමට එහා යන අන්දමින් වෙනස්වී ඇති බව ටෙටියානා සිතයි.
"එයා ගොඩක් වෙනස්වෙලා," ඇය පවසයි. "අපව ආරක්ෂා කිරීමෙනුත්, යුක්රේනය වෙනුවෙන් පෙනී සිටීමෙනුත් එයා තමන්ට බොහෝ හැකියාවන් තියෙනබව ඔප්පු කරලා තියෙනවා. තමන්ට බොහෝ දේ කළ හැකියි කියලා එයා පෙන්නලා තියෙනවා."
ඩ්‍රෝන නියමුවෙකු ලෙස කටයුතුකර කෙටි විවේකයක් ගන්නා පැව්ලෝ සමග අපි කතාබාහ කළේ උද්‍යානයේ දී ය. ඔහු නින්දට යෑමේ අපහසුකම් අත්විඳියි.
"සමහර වෙලාවට, [කාලයත් එක්ක] අපි කැමති දේවල් වෙනස්වෙන නිසා, පරණ මිත්‍රයො එක්ක කතා කරන්න ඕනේ මොකද්ද කියලා තේරෙන්නෙ නැහැ," ඔහු පවසයි. "මම දැකපු හැම දෙයක්ම එයාලා එක්ක බෙදාගන්න මට ඕනෙ නැහැ.
"අපි පොදුවේ කැමති වෙලා හිටපු දේවල්වලට මම තව දුරටත් කැමති නැහැ. මොකක් හරි වෙනස්වෙලා, කඩා වැටිලා."
පැව්ලෝගේ භූමිකාව හේතුවෙන් ඔහු ඉලක්කයක්බවට පත්ව ඇති අතර, බොහෝ දෙනා නොදකින අන්දමේ භීෂණයකට නිරාවරණය වී තිබේ.
එය ඔහු මනෝවිද්‍යාත්මකව 'කොහෙටවත් නැති රටකට' ඇද දමා ඇත.
"යුද පෙරමුණේ ඉන්න හැම දවසකම මට ගෙදර යන්න ඕනෙ වෙනවා," ඔහු පවසයි. "නමුත් මම ගෙදර ආවම, මට ආපහු මගේ සහෝදර සෙබළු වෙත යන්න ඕනේ කියලා අමුතු හැඟීමක් දැනෙනවා.
"ඒක හරි අමුතු හැඟීමක්, නොගැලපෙන තැනක ඉන්න එක."
මෙම යුද්ධයෙන් පසු යුක්රේනයේ ජනගහණය මානසිකව පුනරුත්ථාපනය කිරීමට වසර 20ක් පමණ ගතවනු ඇති බව මෙම ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ කළමනාකරුවන් විශ්වාස කරයි.
"සෑම පුරවැසියන් දෙදෙනෙකුටම" මානසික සෞඛ්‍ය සහාය ලබාදීමට සැලසුම් කරමින් එවැනි පුරෝකථනයන්ට අභිබවා යෑමට උත්සාහ කරන බව රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යනා යුක්‍රේයින්ස්කා පැවසුවේය.
"මිලියන 15ක පමණ ජනතාවක් සඳහා ගුණාත්මක මනෝවිද්‍යාත්මක ආධාර සැපයීමට අපගේ පද්ධතිය සූදානම් කරමින් සිටිනවා," ඇය අපට පවසා සිටියා ය. "එය අවශ්‍ය නොවනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපි සූදානම් විය යුතු බව අපට විශ්වාස යි."
මෙය සෑම යුක්රේන ජාතිකයෙකුටම බලපාන රුසියානු ආක්‍රමණයකි. මිලියන ගණනක් තම නිවෙස්වලින් හා ආදරණීයන්ගෙන් බලහත්කාරයෙන් වෙන්වී, ප්‍රචණ්ඩත්වයට ගොදුරුවී, ඔවුන් සතුවූ සියලු දේ අහිමිව සිටියි.
වඩාත් සුලබ මානසික රෝග වන්නේ ආතති හෝ කාංසා රෝගබව ප්‍රවීණයන් පවසයි. නමුත් එය ඉදිරි වසරවල දී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (PTSD) තම ග්‍රහණය දැඩි කරනු ඇතැ යි සිතයි.
මෑතක දී යුක්රේනයේ ජනාධිපති ආර්යා ඔලේනා සෙලෙන්ස්කා විසින් රටපුරා මානසික සෞඛ්‍ය වැඩසටහනක් දියත් කළ නමුත්, තවමත් චිකිත්සකයින්ගේ හිඟයක් පවතියි. ස්වයං රැකවරණය කෙරෙහි රජය දැඩි අවධානය යොමුකරන්නේ එබැවිනි.
කාර්කිව්හි සය දෙනෙකුගේ පන්තියකට මෙය ශරීර චිකිත්සාව පිළිබඳ දෙයකි. ඔවුන් එක්ව අසුන්ගෙන හැඟීම් බෙදාගන්නා, අනතුරුව එකිනෙකා සමග ස්පර්ශය සහ චලනය සිදුකරන ශරීර චිකිත්සක සැසියකට සහභාගී වේ.
ඉනා මෙහි පැමිණෙන්නේ, චිකිත්සකයෙකු ලෙස අන් අයට උපකාර කිරීමට හැකිවන පරිදි ඇගේම මානසික සෞඛ්‍යය ගැන සැලකිලිමත්වීමට ය.
"මිනිසුන්ට ලබාදෙන්න පුළුවන් උපරිම සම්පත් [දායකත්වය] ලබාදෙන්න නම් මම හොඳ සෞඛ්‍යයකින් ඉන්න එක අතිශයින්ම වැදගත්," ඇය පවසයි.
යුද්ධය ආරම්භයේ සිටම ඇගේ නගරයේ මිනිසුන් වෙනස් වී ඇති ආකාරය ඉනාට ද දැකගත හැකි ය.
"මේ කාලෙ මිනිස්සු වැඩිපුර ජීවත් වෙන්නේ වර්තමානෙ. ඔවුන් ජීවිතේ අනාගතේට කල් දාන්නේ නැහැ. මගේ මතය අනුව නම් මේවා යහපත් වෙනස්කම්.
"නමුත් කම්පනසහගත අත්දැකීම්, පශ්චාත් කම්පන ආතති ආබාධ සහ මානසික අවපීඩනය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වෙනුවෙන් මනෝවෛද්‍යවරුන්ගේ සහාය සැබවින්ම අවශ්‍ය යි."
ඒ, මෙම ගැටුමේ බර යුද අගල්වලට පමණක් සීමා නොවන ආකාරය පිළිබඳ මතක් කිරීමකි. ඔවුන් සිටින ස්ථානය කුමක්වුවත්, මිනිසුන් ගැනිය නොහැකි ආකාරයන්ගෙන් යුද්ධය හා සම්බන්ධව සිටියි.
අතිරේක වාර්තාකරණය හැනා කොර්නූස්, රේචල් තෝන්, ශිවෝන් ලීහි සහ ඩාරියා සිපීජිනා විසිනි