සයනයිඩ් විෂ ලබාදී මිතුරන් දොළොස්දෙනෙකු ඝාතනය කළැ යි තායි කාන්තාවකට චෝදනා

Police escort a masked Sararat Rangsiwuthaporn

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලීසිය මෙසතියේ බැංකොක්හි දී සාරාරාත් රංසිවුතපෝන් අත්අඩංගුවට ගත්තේ ය
    • Author, ඩෙරෙක් කායි
    • Role, බිබීසී පුවත්

මිතුරන් හා දැන හඳුනන්නන් 12 දෙනෙකුට සයනයිඩ් විෂ ලබා දී ඝාතනය කළේයැ යි සැකපිට තායිලන්ත පොලීසිය විසින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇගේ මිතුරියකගේ මරණයක් සම්බන්ධයෙන් මෑතක දී සිදුකළ විමර්ශනයන්ගෙන් පසු අඟහරුවාදා (අප්‍රේල් 25) බැංකොක්හි දී සාරාරාත් රංසිවුතපෝන් අත්අඩංගුවට ගෙන ඇත.

මේ මස මුල දී සාරාරාත් සමග විනෝද චාරිකාවක යෙදීමෙන් පසු මිතුරිය මියයෑම ගැන ඇගේ පවුල සැක පළකර තිබුණි.

විමර්ශනයන්ගෙන් අනතුරුව, පොලීසිය මේ සතියේ දී ප්‍රකාශ කළේ සාරාරාත් ඇගේ හිටපු පෙම්වතෙකු ද ඇතුළු 11 දෙනෙකු ඝාතනය කර ඇතැ යි ඔවුන් විශ්වාස කරනබව ය.

ඇය මූල්‍යමය හේතූන් මත ඝාතන සිදුකරන්නට ඇතැයි පොලීසිය පවසන නමුත් සාරාරාත් සියලු චෝදනාවන් ප්‍රතික්ෂේපකර ඇත. තායි බලධාරීන් ඇයට ඇප ලබාදීම ප්‍රතික්ෂේපකර ඇත.

දෙසතියකට පෙර, සාරාරාත් ඇගේ මිතුරිය සමග බැංකොක්වලට බටහිරින් පිහිටි රචාබුරි ප්‍රාන්තයට ගොස් ගඟක් අසල දී බෞද්ධ ආරක්ෂක චාරිත්‍රයකට සහභාගී වී ඇතැ යි පොලීසිය පවසයි.

ඉන් මඳ වේලාවකට පසු, ඇගේ මිතුරිය වූ සිරිපෝන් ඛන්වොං ගං ඉවුරේ ඇද වැටී මරණයට පත්වූවා ය.

මරණ පරීක්ෂණය අතරතුරේ ඇගේ සිරුරෙන් සයනයිඩ් ලේශයන් හමුවූබව පොලීසිය පවසයි. ඇය හමුවෙද්දී ඇගේ දුරකථනය, මුදල් හා ගමන්මලු ද අතුරුදන්ව තිබී ඇත.

අනෙකුත් වින්දිතයින් ද මීට සමාන ආකාරයකින් මියගොස් ඇතැ යි බලධාරීන් පවසතත්, වැඩිදුර තොරතුරු හෙළිකළේ නැත. ඝාතනයන් ඇරඹී ඇත්තේ 2020 දී බව ඔවුන් පැවසීය.

ඔවුන් පෙර වින්දිතයින් සියල්ලන්ම නම් නොකළ නමුදු, සාරාරාත්ගේ පෙර සහකරු ද, පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු ද මළවුන් අතර සිටිනබව ප්‍රකාශ කළේ ය.

තායි පොලීසිය සාරාරාත්ගේ සහකරුගෙන් ද ප්‍රශ්නකර ඇත. ඔහු මිතුරිය මියගිය රචාබුරි පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි. යුවළ මෑතක දී වෙන්වී ඇතැ යි තායි මාධ්‍ය වාර්තා කළේ ය.

සාරාරාත් වින්දිතයින් සියල්ලන්වම දැන හඳුනාගෙන සිටිබවත්, මූල්‍යමය හේතූන් මත මෙසේ කරන්නට ඇතිබවත් පොලීසිය පවසයි.

සාරාරත්ගේ ඉලක්කයක් වන්නට ඇතැයි පොලීසිය සැක කරන තවත් කාන්තාවක් ඇයට බාත් 250 000ක් (ඩොලර් 7 300ක්) ණයට දී ඇත. ඇය සාරාරාත් සමග දිවා ආහාරය ගැනීමෙන් පසු වමනයකර, සිහි විසඥවී ඇතිමුත් දිවි ගැලවී තිබේ.

වින්දිතයින්ගේ ආභරණ හා මුදල් ද අතුරුදන්ව ඇතැ යි ඔවුන්ගේ ඥාතීන් විසින් පැමිණිලි කෙරුණුබව පොලීසිය පවසයි.

නමුත් වැරදි යමක් සිදුවී ඇතැ යි එකල එම පවුල් සැකකර නැතිබව ද පොලිසිය පවසන්නේ, ඒ සම්බන්ධ සාක්ෂි එකතු කිරීම අභියෝගයක්විය හැකිබව අඟවමිනි. ඇතැම් සිරුරු ආදාහනයකර ඇතැ යි ද පොලීසිය කියයි.

ඝාතනය සඳහා මාරාන්තික සයනයිඩ් මාත්‍රාවක් භාවිතා කළේ නම්, මරණයෙන් මාස ගණනක් ගතවුව ද සිරුරෙන් සයනයිඩ් හඳුනාගත හැකි ය.

සයනයිඩ් විෂ, සිරුරේ සෛලවලට ඔක්සිජන් ලබාගැනීමට බාධා කළ හැකි අතර, එමඟින් හෘදයාබාධා ඇතිවිය හැකි ය. විෂවීමේ මුල් රෝග ලක්ෂණ අතර කරකැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුව හා වමනය වේ.

තායිලන්තය තුළ සයනයිඩ් භාවිතාව දැඩිසේ නියාමනයකර තිබේ. අනවසර භාවිතයක් කළබව හෙළිවුවහොත් වසර දෙකක් දක්වා සිර දඬුවම් ලැබීමට හැකි ය.