ශ්‍රද්ධා වෝකර් ඝාතනය: දිල්ලි වනාන්තරයකින් හමුවූ සිරුරු කොටස් පිළිබඳව පොලිසිය විමර්ශන අරඹයි

ඡායාරූප මූලාශ්‍රය, ANI
තමන් සමඟ එකට ජීවත් වූ සහකරු විසින් ඝාතනය කෙරුණු බවට සැළකෙන කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් දිල්ලි අගනුවර පොලිසිය විමර්ශන අරඹා තිබේ.
27 හැවිරිදි ශ්‍රද්ධා වෝකර් ඝාතනය වී ඇත්තේ පසුගිය මැයි මාසයේදී නමුත් ඇයගේ මරණය අනාවරණය වූයේ, ඇය අතුරුදන් වී ඇති බවට ඇගේ පියා විසින් පසුගිය සතියේදී කරන ලද පැමිණිල්ලකට පසුව ය.
මෙම මරණය සම්බන්ධයෙන් අෆ්තාබ් පූනවාලා නම් අයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු විසින් ඇයගේ ගෙල සිරකර ඝාතනය කිරීමෙන් අනතුරුව, මළ සිරුර කැබලිවලට කපා ඔවුන්ගේ නිවස අසල වනාන්තරයකට දමා ඇති බවට සැළකේ. මේ පිළිබඳව ඔහු මේ දක්වා කිසිදු ප්‍රකාශයක් ලබා දී නොමැත.
"පූනවාලා එයාගේ ශරීර කොටස් කීපයක් අලුත් ශීතකරණයක ගබඩා කරලා තිබ්බ .." ආදී සංවේදී ප්‍රකාශ පොලිසිය විසින් සිදු කිරීමත් සමඟ මෙම සිදුවීම ඉන්දියාවේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයක් බවට පත් වී තිබේ.
අඟහරුවාදා උදෑසන පොලිසිය විසින්, ශ්‍රද්ධාගේ සිරුරේ කොටස් බැහැර කර ඇති බව කියන වනාන්තර කොටසට පූනවලාව ගෙන ගිය බව ANI පුවත් සේවය වාර්තා කළේ ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post

ඡායාරූප මූලාශ්‍රය, ANI
වෝකර් සහ පූනාවාලා dating app එකක් හරහා දිල්ලියේදී මුණගැසීමෙන් අනතුරුව, වසර තුනක කාලයක් එකට ජීවත් වී තිබේ. ඔවුන්ගේ සම්බන්ධතාවය අනුමත නොකළ වෝල්කාර්ගේ පවුලේ අය සමඟ මෙම වසර මුලදී ඇති වූ ආරවුලකින් පසුව ඔවුන් දිල්ලියේ පදිංචියට ගොස් තිබුණි.
යුවළ සිය පදිංචිය වෙනස් කළ වහාම, ශ්‍රද්ධා ඇයව විවාහ කර ගන්නා ලෙස එම පුද්ගලයාට බලපෑම් කිරීමට පටන් ගෙන ඇතැයි යැයි උසස් පොලිස් නිලධාරියෙකු වන අන්කිත් චෞහාන් ANI පුවත් සේවයට පවසා තිබේ.
"දෙන්නා හැම තිස්සෙම දබර කරගෙන තියෙනවා, සීමාව ඉක්මවලා යනතරම්. මැයි 18 වෙනිදා අන්තිමට මනුස්සයාගේ තරහ පුපුරලා ගිහින් එයාගේ බෙල්ල මිරිකලා මරලා" ඔහු කියා සිටියි.
මාස කිහිපයකින් ශ්‍රද්ධාගෙන් ආරංචියක් නොලැබුණු බව ඇගේ මිතුරන් විසින් දැනුම් දීමෙන් පසුව, ඇගේ පවුලේ අය ඇය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ හ.
"අගෝස්තු මාසයේ ඉදලා එයා මගේ කිසිම ටෙක්ස්ට් එකකට උත්තර දුන්නේ නෑ " යි ඇගේ මිතුරා ලක්ෂ්මන් නදීර් ANI වෙත පවසා සිටියේ ය. "එයා ෆෝන් එක ඕෆ් කරලා තිබ්බේ.එයාගේ අනික් යාළුවන්ගෙනුත් අහුවම තොරතුරක් නැති නිසා, එයාගේ සහෝදරයට මම ඒක දැනුම් දුන්න" ඔහු කියා සිටියි.
ශ්‍රද්ධාගේ පියා ද ඇය ඇමතීමට උත්සාහ ගෙන එය අසාර්ථක වීමෙන් පසුව, තම දියණිය අතුරුදන් වී ඇති බවට මුම්බායි පොලිසියට පැමිණිල්ලක් ගොනු කළේ ය. සිය පැමිණිල්ලේ දී ඔහු පූනවාලාට එරෙහිව ගෘහස්ථ අපයෝජන චෝදනා ද එල්ල කළේ, " දුව එයාගේ අම්මට කෝල් කරලා කියලා තිබ්බා අෆ්තාබ් එයාට ගහනවා කියලා " යනුවෙනි.
වෝකර් අවසන්වරට ජීවතුන් අතර සිටි බවට තහවුරු වී ඇත්තේ දිල්ලියේ වීම නිසා මෙම සිදුවීමේ විමර්ශන දිල්ලි පොලිසියට මාරු කර තිබේ.
යුවල විසින් මහල් නිවාසයක් කුලියට ගෙන ජීවත් වූ, දිල්ලියේ මෙහ්රාලි ප්‍රදේශයේ දී පුනවාලාව පොලිසිය විසින් පසුගිය සතියේ අත්අඩංගුවට ගැනුණි.
නිලධාරීන් පවසන්නේ ඝාතනයට ලක් වූ වෝකර්ගේ සිරුරු කොටස් චතාර්පූර් එන්ක්ලේව් හි වනාන්තරවලට බැහැර කර ඇති බවයි.
පූනාවලගේ කුලියට ගත් මහල් නිවාසයේ තිබී අස්ථි කොටස් කිහිපයක් ද සොයාගන ඇතැයි පොලිසිය පවසන බව බීබීසී හින්දි සේවය වාර්තා කර තිබේ.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් ඇත.











