ගබ්සාව: තනිකඩ කාන්තාවන්ට බලපාන පරිදි ඉන්දියාවේ ගබ්සා නීතියට කෙරුණු සංශෝධනය පිළිබඳ ඔබ මේ කරුණු දැන සිටියාද ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අවිවාහක කාන්තාවන් ද ඇතුළු සියලුම කාන්තාවන්ට, සති 24ක කාලයක් දක්වා ගබ්සාවක් සිදුකර ගත හැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ.
මෙම තීන්දුව ලැබෙන්නේ අවිවාහක කාන්තාවන් ඇතුළත් නොවන, කණ්ඩායම් කිහිපයක් පමණක් ඇතුළත් කර ඇති සංශෝධිත 2021 ගබ්සා නීතිය පිළිබඳව පැහැදිළි කිරීමක් ඉල්ලා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසට ය.
විවාහක අවිවාහක බව නො සලකා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත සහ නීත්‍යානුකූල ගබ්සාවකට හිමිකම් ඇති බව අධිකරණය ප්‍රකාශ කළේ ය.
දෙදෙනාගේ ම කැමැත්තෙන් සිදුවන සබඳතාවලින් සිදුවන ගැබ්ගැනීම් සම්බන්ධයෙන්, මෙම 'අවිවාහක කාන්තාවන් බැහැර කිරීම', ව්‍යවස්ථා විරෝධී බවත් එහිදී ප්‍රකාශ කෙරිණි.
1971 වසරේ සිට ඉන්දියාවේ ගබ්සා කිරීම් නීත්‍යානුකූල වී තිබුණු නමුත්, ගැහැනු ළමුන්ට වඩා පිරිමි ළමුන්ට වැඩි කැමැත්තක් දක්වන ඉන්දීය සමාජය, ගැහැනු කළල ගබ්සා කිරීමට පෙළඹීම හේතුවෙන් ගැබ් ගැනීමක් අවසන් කළ හැක්කේ කාටද යන්න පිළිබඳව දැඩි නීති රීති සම්පාදනය කර ඇත.
එලෙස මිලියන ගණනක ගැහැනු කළල විනාශ කිරීම, ඉන්දියාව තුළ දරුණු ලෙස විකෘති වූ ස්ත්‍රී පුරුෂ අනුපාතයක් ඇති වීමට හේතු වී තිබේ.
සති 20 ත් 24 ත් අතර ගබ්සා කිරීම් සඳහා කාන්තාවන් කාණ්ඩ කිහිපයකට අවසර දීමට, 'වෛද්‍ය පහසුකම් යටතේ ගැබ් ගැනීම අවසන් කිරීමේ පනත (MTP)' එරට රජය විසින් පසුගිය වසරේදී සංශෝධනය කරන ලදී.
මෙම ලැයිස්තුවට ස්ත්‍රී දූෂණවලට ලක් වූ කාන්තාවන්, බාලවයස්කරුවන්, මානසික ආබාධ සහිත කාන්තාවන්, අසාමාන්‍යතා සහිත කළල සහිත කාන්තාවන් සහ ගර්භණී සමයේදී විවාහක තත්ත්වය වෙනස් වූ විවාහක කාන්තාවන් ඇතුළත් වී තිබිණි.
මෙම සංශෝධනය මගින්, විවාහක සහ අවිවාහක කාන්තාවන් අතර වෙනසක් නොමැති බවත්, දෙදෙනාගේ ම කැමැත්තෙන් සිදුවූ සබඳතාවල සිටින අවිවාහක කාන්තාවන් ද එයට ඇතුළත් කළ යුතු බවටත් බ්‍රහස්පතින්දා තීන්දුව පැහැදිලි කර තිබේ.
DY චන්ද්‍රචුඩ්, AS බෝපන්නා සහ JB පර්දිවාල් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල පැවසුවේ, විවාහක තත්ත්වය මත පදනම්ව, අනවශ්‍ය ගැබ් ගැනීමක් ගබ්සා කිරීමට ඇති අයිතිය කාන්තාවකට අහිමි කිරීම ඇයගේ හිමිකම් කඩ කිරීමක් බවයි.
මෙම නීතිය යටතේ, ස්‌ත්‍රී දූෂණය යන්නෙහි අර්ථයට සිය සැමියන් විසින් ලිංගික අතවර කිරීම් ද ඇතුළත් වන බවත් විනිසුරුවරු මෙහිදී කියා සිටිය හ.
ඉන්දියාව තවමත් විවාහය තුළ සිදුවන දූෂණය අපරාධයක් බවට ප්‍රකාශ කර නො මැත. වත්මන් නීතිවලට අනුව, පිරිමියෙකු බාලවයස්කාර නොවන තම බිරිඳ සමඟ 'ඇගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන්' ලිංගිකව හැසිරීම ස්ත්‍රී දූෂණයක් නොවේ.
බ්‍රිතාන්‍ය යුගයේ පනවන ලද මෙම නීතිය නීති විරෝධී කිරීම සඳහා වූ නඩුවක තීන්දුවක්, පසුගිය මැයි මාසයේදී දිල්ලි මහාධිකරණය විසින් ලබා දුන් අතර, එය බෙදුණු තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් විය. එහිදී විනිසුරුවරුන් දෙදෙනා ම මේ සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රකාශ කර තිබුණි.
එම නඩුව දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී.












