බිකිනි ඡායාරූප නිසා ඉල්ලා අස්වීමට සිදුවූ විශ්වවිද්‍යාල මහාචාර්යවරිය

A woman on phone

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නැගෙනහිර ඉන්දියාවේ කොල්කතා නගරයේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික විශ්වවිද්‍යාලයයක් පසුගිය මාස කිහිපය තුළ අශෝභන මතභේදයකට පැටලී ඇත.

ශාන්ත සේවියර් විශ්වවිද්‍යාලයයේ හිටපු සහකාර මහාචාර්යවරියක් BBC වෙත පවසා සිටියේ තමා බිකිනියකින් සැරසී සිටින ඡායාරූප Instagramහි පළ කිරීම නිසා, රැකියාවෙන් ඉවත්වන ලෙස තමාට බලකෙරුණු බව යි. විශ්වවිද්‍යාලයය එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි 31-හැවිරිදි ඇය, විශ්වවිද්‍යාල බලධාරීන් තමාට "ලිංගික හිංසනයන්" සිදුකළ බවට චෝදනා කරමින්, තමා "හිරිහැරයට, අයුතු බලපෑම්වලට සහ සදාචාරය සම්බන්ධ බලපෑම්වලට" ලක්කෙරුණේයැ යි පවසයි.

ඇය පොලිස් පැමිණිල්ලක් ගොනුකර විශ්වවිද්‍යාලයයට ලිඛිතව දන්වා ඇති අතර, විශ්වවිද්‍යාලයය ඊට ප්‍රතිචාර වශයෙන් අපහාස කිරීම් වන්දි ලෙස ඉන්දියානු රුපියල් මිලියන 990ක් ඇගෙන් ඉල්ලා ඇත.

'මාව ප්‍රශ්න කිරීමේ කාමරයකට ගෙනිච්චා'

සහකාර මහාචාර්යවරිය පවසන්නේ උපාධි සහ පශ්චාත් උපාධි අපේක්ෂකයින්ගේ පන්තිවලට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා තමා 2021 අගෝස්තු 9 වන දා පීඨයට සම්බන්ධ වූ බව යි.

ඉන් මාස දෙකකට පසු, ඇය රැස්වීමක් සඳහා උපකුලපති කාර්යයාලයට කැඳවනු ලැබිණි.

එහිදී ඇය "ප්‍රශ්න කිරීමේ කාමරයකට ගෙනයනු ලැබූ අතර", උපකුලපති ෆීලික්ස් රාජ්, රෙජිස්ට්‍රාර් ආශිෂ් මිත්‍රා සහ කාන්තාවන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් ඇගෙන් ප්‍රශ්න කර තිබේ.

පළමු වසරේ ශිෂ්‍යයෙකුගේ පියාගෙන් ඇයට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇති බව ඇය වෙත දන්වනු ලැබිණි.

"උපකුලපතිතුමා කිව්වා මේ පියා එයාගේ පුතා ඉන්ස්ටග්‍රෑම් එකේ මම යට ඇඳුමින් සැරසිලා ඉන්න ෆොටෝ බලනවා දැක්කා කියලා. ඒවා ලිංගික අන්දමේ පින්තූර වගේම, එයාගේ පුතාව එවැනි අශෝභන දෙයින් බේරගන්න කියලා විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා සිටියාලු."

"ඡායාරූප පහ හයක්" සහිත පත්‍රිකාවක් මණ්ඩලයේ සාමාජිකයන් අතර බෙදා හරින ලද අතර, ඒවා තමාගේයැ යි තහවුරු කරන ලෙස ඇගෙන් ඉල්ලා තිබුණි.

'මට තේරුනා වැරැද්ද මගේ පිට පටවන්න හදනවා කියලා'

ඇය පවසන්නේ එම ඡායාරූපයන් ඇය කොටස් දෙකක පිහිනුම් ඇඳුමකින් සැරසී, ඇගේ කාමරයේ සිට ගත් සෙල්ෆි බවත්, ඒවා "ස්ටෝරි" එකක් ලෙස Instagramහි පළකළ බවත් ය - එමඟින් අදහස් වන්නේ ඒවා පැය 24කට පසු මැකීයන ලෙස සකසා ඇති බව යි.

නමුත් තමා එම ඡායාරූප පළ කළේ 2021 ජුනි 13 වැනි දින හෙවත් විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණීමට මාස දෙකකට පමණ පෙර බවට සහ පුද්ගලික ප්‍රතිපත්ති (Private) ලෙස සැකසූ එම ගිණුම Follow කිරීමට සිසුන්ගෙන් ලද ඉල්ලීම් පිළිගැනීමට පෙරබවත් ඇය කළ පැහැදිලිකිරීම් එම මණ්ඩලය ප්‍රතික්ෂේප කළේ ය.

Fingers being pointed at a woman

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"මම කම්පනයට පත්වුණා. පින්තූර දැක්කාම මම හුඟක් කලබල වුණා. මගේ අවසරයකින් තොරව මගේ පුද්ගලික ඡායාරූප බෙදාහදා ගන්නා බවක් මට දැනුණා," ඇය පැවසුවා ය.

"මට ඒ ෆොටෝ දිහා බලන් ඉන්න බැරිවුණා. ඒවා මට ඉදිරිපත් කරපු විදිහ සහ ඒ අවට කතාබහ නිසා මට පවා ඒවා හරි නැහැ කියලා හිතුණා. මට තේරුනා වැරැද්ද මගේ පිට පටවන්න හදනවා කියලා. මාව හිතාමතා වැරැද්දක පටලවන්න හදනවා කියලා මට හිතුනා."

'ඔයාගෙ දෙමව්‍පියෝ මේ ෆොටෝස් දැක්කා ද?'

"මගෙන් ඇහුවා ඇයි ඔයා එහෙම කළේ කියලා. ගැහැනියක් විදියට ඒක හරි නැහැ කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? නිසි ලෙස හැසිරෙන එක මහාචාර්යවරියක් විදියට ඔබේ සමාජ යුතුකම නේද? කාන්තාවන්ට ඇඳුම් පැළඳුම් ගැන නීති මාලාවක් තියෙනවා කියලා ඔයා දන්නේ නැද්ද? කියලා ඇහුවා."

"මම විශ්වවිද්‍යාලයයට ලැජ්ජාවක් සහ අපකීර්තියක් ගේනවා කියලා එයාලා මට කිව්වා. මගේ දෙමාපියන් Instagram ඉන්නවා ද, ඔවුන් එම පින්තූර දැක්කා ද කියලාත් මගෙන් ඇහුවා. මට කම්පනයක් එක්ක පිළිකුලක් දැනුනා."

ලිඛිත වාර්තාවක් රැගෙන පසුදින පැමිණෙන ලෙස ඇයට දැනුම් දෙනු ලැබුණි.

සමාව ඉල්ලීම සහ 'ඉල්ලා අස්වීමට බලකිරීම'

පසුදා උපකුලපති කාර්යාලයට පැමිණි ඇය, ඇගේ පෙර ශිෂ්‍ය සගයෙකු, විශ්වවිද්‍යාලයයේ සහකාර මහාචාර්යවරයෙකු හා ඇය ප්‍රශ්න කළ මණ්ඩලයේ සාමාජිකයෙකු ද වූ "ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අංශ ප්‍රධානියා ඇතුලු තවත් පීඨ සාමාජිකයින්ගේ උපදෙස් මත ලියූ" ලිඛිත සමාවක් ඉදිරිපත් කළා ය.

"මගේ පින්තූර විශ්වවිද්‍යාලයයේ කීර්ති නාමයට කැළලක් වන ආකාරයෙන් අර්ථකථනය කර ඇත්නම්, මට කණගාටු යි," ඇය ලියා තිබුණි.

එය "ඉතා අමිහිරි අත්දැකීමක්" බව ඇය පැවසුවා ය. නමුත් ඇය අපේක්ෂා කළේ ගැටලුව එතැනින් අවසන් වනු ඇතැ යි කියා ය.

"නමුත් උපකුලපතිවරයා මට කිව්වා මණ්ඩලය ඒකමතිකව මාව සේවයෙන් පහකිරීමට නිර්දේශ කර ඇති බව. ඔහු කිව්වා මගේ ඡායාරූප අතින් අත ගොස් ඇති බවත්, බොහෝ සිසුන් ඒවා දැක ඇති බවත්, ඔවුන් මාව හෑල්ලුකර සලකන්න පුළුවන් බවත්, දෙමාපියන් ඒ ගැන පැමිණිලි කරනු ඇති බවත්. [ඒ වගේම] ඔහු කිව්වා මම ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වුණා නම් හොඳයි කියලා."

ඇය එසේ සිදු නොකළහොත්, "අදාළ පියාට පොලිස් පැමිණිල්ලක් ගොනු කිරීමට අවශ්‍ය වූ නිසා මාව අත්අඩංගුවට ගෙන හිරේට අරිනු ඇතැ"යි ඔහු පැවසූ බව ඇය කියා සිටියි.

"මාව කොණකට කොටුකළා වගේ දැණුනා - මම ඉල්ලා අස්වුණා," ඇය පවසයි.

"නමුත් මට දැඩි කෝපයක් ඇති වුණු නිසා නීති උපදෙස් පැතුවා. මගේ ඡායාරූප බාගතකර ඇති නිසා, මගේ අනුදැනුමකින් තොරව පිටපත් ගෙන බෙදාගෙන ඇති නිසා, ලිංගික හිංසනය පිළිබඳ පැමිණිල්ලක් සයිබර් අපරාධ පොලිසියට ඉදිරිපත් කරන ලෙස මගේ නීතිඥයා මට යෝජනා කළා," ඇය පැවසුවා ය.

'අපි ඇයට අයින්වෙන්න කිව්වේ නැහැ'

ඇය සේවයෙන් පහ කිරීමට කමිටුව නිර්දේශ කර තිබේ ද යන්න පිළිබඳව අදහස් දැක්වීම ෆීලික්ස් රාජ් පියතුමා ප්‍රතික්ෂේප කළ නමුත්, විශ්වවිද්‍යාලයයට සහ තමාට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

"අපි ඉගෙනීම හා දැනුම අතින් ඉතා උසස් ආයතනයක්. ඇගේ ජ්‍යෙෂ්ඨයෙකු සහ විශ්වවිද්‍යාල ප්‍රධානියා ලෙස මම ඇයට කිව්වා එහෙම පින්තූර නොදා ඉන්න තිබුණා කියලා."

ඔහු තවදුරටත් පවසන්නේ තමා "[ඇයට] ඉල්ලා අස්වන කියලා බල කළේ නැහැ. ඇය ඇගේ කැමැත්තෙන් අස්වුණේ" යනුවෙනි.

"ඇය [2021] ඔක්තොම්බර් 8 වෙනිදා සමාව ඉල්ලමින් ලිපියක් භාරදුන්නා. අපි ඒක පිළිගත්තා. මම හිතුවා ඒක හොඳ පියවරක් කියලා. නමුත් ඇය පූජා උත්සව නිවාඩුවෙන් පස්සේ ඔක්තෝබර් 25දා විශ්වවිද්‍යාලයය ආරම්භ කළාම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නා."

"මම බලාපොරොත්තු වුණා නිවාඩුවෙන් පස්සේ එයා වැඩට ඒවි කියලා. අර සති දෙකේ දී මොනවා වුණා ද මම දන්නේ නැහැ," ඔහු පවසයි. ඔහු කියා සිටින්නේ ඔවුන්ට "ඇය සමඟ කිසිදු අමනාපයක් නොමැති" බවත්, "අපි ඇයට ඉතා හොඳින් සැලකූ බවත්" ය.

විශ්වවිද්‍යාලයයට ඇතුළත් වූ පසු ඇගේ Instagram ඡායාරූප කිසිවෙකුට දැකගත නොහැකි බවට ඇය කළ ප්‍රකාශය සහ පීඨ සාමාජිකයෙකු විසින් ඇය හිතාමතා වරදකට පටලා දැමූ බවට වන ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ විට, ෆීලික්ස් රාජ් පියතුමා පැවසුවේ ඔහු "තාක්ෂණය පිළිබඳ විශේෂඥයෙකු නොවන" බව යි.

'සදාචාරය පිළිබඳ රීති ම්ලේච්ඡ ලෙස පැනවීම'

ආචාර්යවරියට ලබාදුන් මේ තීන්දුව බොහෝ සිසුන්ගේ සහ ආදි සිසුන්ගේ විවේචනයට ලක්ව ඇත. ඔවුන්ගේ අදහස එය "පසුගාමී" එකක් බව යි.

මේ සම්බන්ධයෙන් හිටපු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගෞරව් බැනර්ජි විසින් බටහිර බෙංගාල ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යැවීම සඳහා ආරම්භ කරන ලද change.org පෙත්සමකට අත්සන් 25 000කට වඩා ලැබී තිබේ.

බැනර්ජි BBCයට පැවසුවේ විශ්වවිද්‍යාලයය මහාචාර්යවරියගෙන් සමාව ගතයුතු බවත්, කමිටුවේ හැසිරීම් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ය.

"විශ්වවිද්‍යාලයයට මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියන එක දැකලා මම වගේම ගොඩක් දෙනෙක් භීතියට පත්වුණ එක ගැන මම සතුටු වෙනවා," ඔහු පැවසීය.

Instagram

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පසුගිය දිනෙක විශ්වවිද්‍යාල සිසුහු දුසිම් ගණනක් කළු ඇඳුමින් සැරසී, මහාචාර්යවරියට සහයෝගීතාව ප්‍රකාශ කිරීම සඳහා විශ්වවිද්‍යාල ආපන ශාලාවෙන් පිටත හදිසි නිහඬ විරෝධතාවක් පැවැත්වූහ.

"අපේ එක් මහාචාර්යවරියකුට ලබාදී ඇති මේ ම්ලේච්ඡ සදාචාරාත්මක තීන්දුව ගැන අපිට දැනගන්න ලැබුණා," සහභාගී වූ අයෙක් පැවසුවේ ය.

"මෙය කිසිසේත්ම පිළිගත නොහැකියි. මම මගේ පෞද්ගලික අවකාශයේ කරන දේ ගැන අනිත් අය කරදර වෙන්න ඕන ඇයි? අපේ පුද්ගලික නිදහස අපිට ලැබෙන්න ඕන," ඔහු පැවසීය.

"භයානකම දේ, කාන්තාවන් පස්දෙනෙකුත් ඇතුළත් වූ කමිටු සාමාජිකයින්ට මේක සදාචාරය බලෙන් පැණවීමක් කියලා හිතුණේ නැද්ද කියන එක?" ඔහු වැඩිදුරටත් පැවසීය.

'මම දිනන එකක් නැහැ…'

ගැටලුවට මැදිව සිටින මහාචාර්යවරිය තමා වෙත සහයෝගය දක්වන්නන් වෙත පැවසුවේ "මේ සහයෝගය අදහාගත නොහැකි අතර කෘතඥ වෙන" බව යි.

"[මම] මාස ගාණක් දුකෙන් හිටියා. මට සතුටුයි මේක විකාරයක් බව මිනිස්සුන්ට තේරෙන එක ගැන."

ඉන්දීය ව්‍යවස්ථා මඟින් පුද්ගලිකත්වය සහ ස්වයං ප්‍රකාශනය සඳහා ලබා දී ඇති අයිතිය උල්ලංඝණය කළ නොහැකි බවත්, මෙම තීන්දුව "ඔත්තු බැලීම" රැකියා ස්ථානයෙන් පිටතට ගොස් ඇති බවත් ඇය පවසයි.

"ආයතනයට සම්බන්ධ වෙන්න කලින් මම කරපු දේවල් එයාලගේ සමාජ මාධ්‍ය ප්‍රොටෝකෝලය හෝ මාර්ගෝපදේශ උල්ලංඝය කරන්නේ කොහොමද?" ඇය විමසයි.

"මම වැරැද්දක් කරලා නැහැ කියලා මට විශ්වාස යි. මම මේක දිනන්නේ නැති වෙන්න පුළුවන්, නමුත් මට මේක වැදගත් සටනක්," ඇය කියා සිටියි.