ලෝක ජනගහණය බිලියන 8 ට : බිලියන 5,6 සහ 7 වැනි දරුවන් දැන් කොහි ද?

Sadia Sultana Oishee and Adnan Mevic
ඡායාරූප ශීර්ෂ වැකිය, බිලියන සත්වැනි දරුවෙකු වන සාදියා දුල්තානා ඔයිෂි, සහ බිලියන සයවැනි දරුවා වූ ඇඩ්නන් මෙවික් ගෝලීය ජනගහණ වර්ධනයේ උච්චතම අවස්ථාව දැකීමට ජීවත්වෙනු ඇත

ලෝක ජනගහණය බිලියන අට දක්වා වර්ධනයවී ඇතැයි එක්සත් ජාතීන් පවසයි. ඒ, අවසන් බිලියනය වසර 11ක් තුළ දී වර්ධනයකර ගනිමිනි. බිලියන සයවන සහ සත්වන ස්ථානයන්හි උපන් දරුවන්ගේ ජීවිත ජනගහණ වර්ධනය සහ හීනවීම ගැන අපට පවසන්නේ කුමක්ද?

ඉපදී මිනිත්තු කීපයක් ගතවෙද්දී මතෙයි ගැස්පාර්ගේ කුඩා මුහුණට සැණෙලි දැල්වෙන කැමරාවක් එල්ලවී තිබූ අතර, දේශපාලඥයින් රොත්තක් දැඩිසේ විඩාපත් ඔහුගේ මව වටකර ගනිමින් සිටියේ ය.

පිටත වූ මෝටර් රථ පෙළපාලියක පිටුපස සිරවී සිටි ඇලෙක්ස් මාෂල්ට, ක්‍රොඒෂියාවේ සාග්‍රෙබ්හි තදාසන්න ප්‍රදේශයක පිහිටි මෙම කුඩා මාතෘ ඒකකය තුළ ඇතිව තිබෙන තාවකාලික අවුල්සහගත තත්ත්වයට තමා ද අර්ධ වශයෙන් වගකිව යුතුයැ යි හැඟුනි.

ඒ 1987 ජුලි මාසය වූ අතර, ඇලෙක්ස්, ප්‍රජනක අයිතිවාසිකම් සඳහා වගකිවයුතු ආයතනය වන එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල (UNFPA) සඳහා සේවය කරන බ්‍රිතාන්‍ය නිලධාරියෙකු විය.

"අපි මූලිකවම ප්‍රක්ෂේපණ දිහා බලලා, 1987 දී ලෝක ජනගහණය බිලියන පහ ඉක්මවා යයි කියන අදහස ගැන බලාපොරොත්තු තියාගත්තා," ඔහු පවසයි. "සංඛ්‍යාලේඛනවලින් පෙන්වපු දිනය වුණේ ජුලි 11." ලොව බිලියන පස්වන දරුවා නම්කිරීමට ඔවුන් තීරණය කළේ ය.

ඒ සඳහා අවසර ලබාගැනීමේ අරමුණින් ඔහු එක්සත් ජාතීන්ගේ ජනවිකාසඥයින් වෙත ගිය අවස්ථාවේ ඔවුහු දැඩි කෝපයට පත්වූහ.

"අපි කරන්නේ මොකද්ද කියලා අපිවත් නොදන්නබව ඔවුන් අපි වගේ 'දැනුම්තේරුම් නැති මිනිසුන්ට' පැහැදිලි කළා. අපි බොහෝදෙනෙක් අතරින් එක් පුද්ගලයෙක් විතරක් තෝරාගන්න හොඳ නැහැ කියලා කිව්වා."

නමුත් එය කෙසේහෝ සිදුකරන්නට ඔවුන් සමත්විය. "ඒකෙ අරමුණ වුණේ ඉලක්කම්වලට මුහුණක් දෙන එක," ඔහු පවසයි. "එදාට මහලේකම් ඉන්නේ කොහෙද කියලා අපි හොයාගත්තා. ඉතිරිය ඉන්පසු සිදුවුණා."

ඉන් වසර 35කට පසු, ලෝකයේ බිලියන පස්වන බිළිඳා තමා උත්සවාකාරයෙන් ලෝකයට පිවිසුණු අයුරු අමතක කිරීමට උත්සාහ දරමින් සිටියි. ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් පෙන්වන්නේ, තවමත් සාග්‍රෙබ්හි වෙසෙන ඔහු ප්‍රීතිමත් විවාහ දිවියක් ගෙවමින් රසායනික ඉංජිනේරුවෙකු ලෙස සේවයේ යෙදෙනබව යි. නමුත් ඔහු සම්මුඛ සාකච්ඡා මඟහරින අතර BBCය හා කතාබහ කිරීම ප්‍රතික්ෂේප කළේ ය.

"හොඳයි, මම ඔහුට දොස් පවරන්නේ නැහැ," මතෙයි උපන් දිනයේ දී සිදුවූ මාධ්‍ය සංදර්ශන සිහිපත් කරමින් ඇලෙක්ස් පවසයි. එදායින් පසු, එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන අංශය ලෝකය තවත් බිලියන සැතපුම් කණුවක් පසුකරනා අවස්ථාවන් සනිටුහන් කිරීමට පසුබටවිය.

Population growth

පෘථිවිය මත බිලියනයක ජනගහණයක් පැතිරවීමට මිනිසාට වසර 300,000ක් පමණ ගතවිය. මෙය වර්ෂ 1800 ආසන්න සමයේ දී සිදුවූවකි. බිලියන දෙකේ සීමාවට ළඟාවීමට ද වසර 100කට වඩා ගතවුණි. නමුත් 1950 ගණන්වල දී පමණ ජනගහණ වර්ධනය වේගවත්වීම ඇරඹුණේ ය.

ලෝකය සැබැවින්ම බිලියන අටක සීමාවට පැමිණියේ කවදා ද යන්න දැනගත නොහැකි ය. එය, නොවැම්බර් 15ට වසරකට දෙකකට පෙර හෝ පසු විය හැකිබව එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන අංශයේ පැට්‍රික් ජර්ලන්ඩ් පවසයි.

ඔවුන් ලෝක ජනගහණය ගණනය කරන්නේ සංගණන දත්ත පදනම් කරගෙන වන අතර, එක්සත් රාජධානිය වැනි රටක සංගණන දත්තවල දෝෂ ආන්තිකය 1%ක් පමණ වේ. කෙසේ වෙතත්, 1979 දී සිය පළමු සහ එකම සංගණනය සිදුකළ ඇෆ්ගනිස්ථානය වැනි රටක හෝ, දෙවන ලෝක යුද්ධයේ සිට එකදු හෝ සංගණනයක් සිදුකර නොමැති ලෙබනනය වැනි රටක එය වඩා දුෂ්කර විය හැකි ය. එබැවින් UN විසින් සාඵල්‍යතාව, මරණ ප්‍රමාණය සහ සංක්‍රමණය පිළිබඳ පුළුල් සමීක්ෂණ හරහා පැරණි සංගණන දත්ත ඌණපූරණය කරයි.

1987 වසරේ මතෙයිගේ උපතින් පසු ගෙවුණු වසර 35ක් තුළ, අපගේ ගෝලීය ප්‍රජාවට තවත් බිලියන තුනක ජනතාවක් එකතුවී සිටියි. නමුත් ජනගහණ වර්ධනය පවතින්නේ මන්දගාමීවීමට ආසන්නයේ ය. ඉදිරි වසර 15 තුළ දී අපි බිලියන නවයක සැතපුම් කණුවට පැමිණීමට ඉඩ ඇතත්, අපි බිලියන 10ට ළඟාවීමට තවත් වසර 20ක් ගතවිය හැකි ය. ගෝලීය ජනගහණය තිර මට්ටමක පැවතීම ඇරඹෙන්නේ බොහෝවිට එවිට ය.

බංගලිදේශයේ ඩකා නගරය ආසන්නයේ වෙසෙන සාදියා සුල්තානා ඔයිෂි රාත්‍රී ආහාරය සඳහා අර්තාපල් ලෙලි ගැසීමට ඇගේ මවට උපකාර වෙයි. එකොළොස්වැනි වියේ පසුවන ඇය පිටතට ගොස් පාපන්දු ක්‍රීඩාවේ යෙදීමට කැමැත්තක් දක්වන නමුත් ඇගේ දෙමාපියන් තද පාලනයක් පවත්වාගෙන යයි.

රෙදිපිළි සහ සාරි විකිණීමේ පවුලේ ව්‍යාපාරය වසංගතයට ගොදුරුවූ විට නගරයේ පදිංචියට ඒමට පවුලට සිදුවිය. ගම්බද ජීවිතය ලාභදායී නිසා තවමත් දියණියන් තිදෙනාගේ පාසල් ගාස්තු ගෙවීමේ හැකියාව ඔවුන් සතු ය.

Portrait of Oishee
ඡායාරූප ශීර්ෂ වැකිය, බිලියන සත්වැනි දරුවෙනු වන ඔයිෂි වෛද්‍යවරියකවීමට සිහින මවයි

ඔයිෂි, පවුලේ බාලයා සහ වාසනාව ගෙන ආ තැනැත්තිය වෙයි. 2011 වසරේ දී උපතලද ඇය ලොව බිලියන සත්වන බිළිඳුන් අතරට එක්විය. එකල එක් දරුවෙකු පමණක් තෝරා නොගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කළ අතර, තමන්ගේම බිලියන සත්වන බිළිඳෙකු තෝරා නම්කිරීම ප්‍රාදේශීය කාර්යයාලවලට භාරදුන්නේ ය.

සිදුවීමට නියමිතව ඇත්තේ කුමක්දැ යි ඔයිෂිගේ මව, ෂෙෆාලි අක්තර් ටොනී දැන සිටියේ නැත. එදින දරු ප්‍රසූතිය සිදුකිරීමට හෝ ඇය බලාපොරොත්තුව සිටියේ නැත. එදින උදෑසන වෛද්‍යවරයෙකු කැඳවා පරීක්ෂා කිරීමෙන් පසු, හදිසි සිසේරියන් සැත්කමක් සඳහා ඇය ප්‍රසූත වාට්ටුවට යවනු ලැබුණි.

ඔයිෂි මධ්‍යම රාත්‍රිය පසුවී මිනිත්තුවකින් උපත ලැබුවේ, ඇය දැකීමට පැමිණ සිටි රූපවාහිනී කාර්යය මණ්ඩලය සහ ප්‍රාදේශීය නිලධාරීන් එම ස්ථානයට රැස්ව සිටිද්දී ය. ඇගේ පවුල මවිතයට පත්වූ නමුත් සතුටට පත්ව සිටියෝ ය.

The day of Oishee's birth

ඡායාරූප මූලාශ්‍රය, Sadia Sultana Oishee

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔයිෂිගේ උපත සනිටුහන් කිරීමට ගත් ඡායාරූපයට පෙනී සිටීමට බොහෝදෙනෙකුට අවශ්‍යවිය

මුල දී ඔයිෂිගේ පියා පුත්‍රයෙකු බලාපොරොත්තුවූ නමුත්, දැන් ඔහු සිය වෙහෙසවී වැඩ කරන බුද්ධිමත් දියණියන් තිදෙනා සමග සතුටින් වෙසෙයි. ඔහුගේ වැඩිමහල් දියණිය දැනටමත් විශ්වවිද්‍යාලයයක ඉගෙනුම ලබන අතර ඔයිෂි වෛද්‍යවරියකවීමට අධිෂ්ඨාන කරගෙන සිටින්නී ය. "අපි එච්චර පොහොසත් නැහැ. කොවිඩ් නිසා ජීවිතේ තවත් දුෂ්කර වුණා," ඔහු පවසයි. "ඒත් මම එයාගේ හීනෙ හැබෑවෙන්න කරන්න පුළුවන් හැමදේම කරනවා."

ඔයිෂි ඉපදුණු දා පටන් තවත් මිලියන 17ක ජනකායක් බංගලාදේශයේ වැඩෙන ජනගහණයට එකතුවී ඇත.

මෙම වර්ධනය වෛද්‍යමය සාර්ථකත්වය පිළිබඳ විශිෂ්ට කතාවකි. එයින් අදහස්වන්නේ, තව තවත් දරුවන් සුරක්ෂිතව ඉපදී, වැඩිහිටිභාවයට පැමිණ, තමන්ගේම දරුවන් ලබනබව යි. එසේම ඔවුන් වඩා වැඩි කලක් ජීවත් වෙයි.

නමුත් බංගලාදේශයේ ජනගහණය ප්‍රසාරණය වන වේගය විශාල වශයෙන් පහත වැටී තිබේ. 1980 දී සාමාන්‍ය කාන්තාවක් දරුවන් සයදෙනෙකුට වඩා ලැබූ නමුත් දැන් එය දෙදෙනෙකුට වඩා අඩු ය. ඒ, ඒ රට අධ්‍යාපනයට යොමුකර ඇති අවධානයට ස්තුතිවන්නට ය.

කාන්තාවන් වැඩි වැඩියෙන් අධ්‍යාපනය ලබනා විට, ඔවුන් බිහිකෙරුමට තෝරාගන්නා දරුවන්ගේ සංඛ්‍යාව ද අඩුවේ. සාඵල්‍යතා මට්ටම් තීරණය කිරීම සඳහා වැඩියෙන්ම බලපවත්නා සාධකය එය යි.

ලෝක ජනගහණය කොතැනක යනු ඇති ද යන්න තේරුම් ගැනීමේ දී ද එය ඉතා වැදගත් වේ. අධ්‍යාපනය හරහා ලැබීමට අපේක්ෂා කරන ජයග්‍රහණ, ගෝලීය ජනගහණය සම්බන්ධ ප්‍රක්ෂේපන සිදුකරන ප්‍රධාන ආයතනයන ත්‍රිත්වය - එක්සත් ජාතීන්, වොෂින්ටන් විශ්වවිද්‍යාලයයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය (IHME) සහ වියානාහි IIASA-විට්ගන්ස්ටයින් මධ්‍යස්ථානය - මත එකිනෙකට වෙනස්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ 2080 ගණන්වල දී ගෝලීය ජනගහණය බිලියන 10.4ක උපරිමයකට නඟිනු ඇතැ යි යනුවෙන් නමුත්, IHME සහ විට්ගන්ස්ටයින් විශ්වාස කරන්නේ එය ඊට කලින්, 2060 සහ 2070 අතර දී, බිලියන 10කට වඩා අඩු ජනගහණ මට්ටමක දී සිදුවනු ඇතිබව යි.

නමුත් මේවා ප්‍රක්ෂේපණයන් පමණි. 2011 දී ඔයිෂි උපත ලැබුවායින් පසු ලෝකයේ බොහෝ දේ වෙනස්වී ඇති අතර, එම වෙනස්කම් ජනවිකාසඥයින් නිරන්තරයෙන් පුදුමයට පත්කරවයි.

"ඒඩ්ස් නිසා සිදුවන මරණ සංඛ්‍යාව මෙතරම් පහත වැටෙයි කියලා, ප්‍රතිකාර මඟින් මෙච්චර මිනිස්සු ප්‍රමාණයක් බේරගනීවි කියලා අපි අපේක්ෂා කළේ නැහැ," IIASAහි ජනගහණ ප්‍රක්ෂේපණයන් ප්‍රතිශෝධනයේ යෙදෙන ජනවිකාසඥයෙකු වන සමීර් KC පවසයි. ළමා මරණ අනුපාතය ලබා ඇති විශාල උන්නතියට අනුකූලව සිය ආකෘතියේ වෙනස්කම් සිදුකිරීමට ඔහුට සිදුවිය. ළමා මරණ සංඛ්‍යාව විශාල ලෙස පහත වැටීම දිගුකාලීන බලපෑමක් ඇති කරයි. මන්ද එම දරුවන් තමන්ගේම දරුවන් බිහිකිරීමට ජීවත්වනු ඇති හෙයිනි.

නමුත් සාඵල්‍යතාව ද විශාල ලෙස පහත වැටී තිබේ.

දකුණු කොරියාවේ එක් කාන්තාවකට උපදින දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය 0.81 දක්වා පහත වැටුණුවිට ජනවිකාසඥයින් කම්පනයට පත්වූබව සමීර් KC පවසයි. "මේ අගය කොච්චර පහතට වැටෙයි ද? මේක තමයි අපට තියෙන ලොකුම ප්‍රශ්නය."

මෙය තව තවත් රටවලට පොරබදන්නට සිදුවනු ඇති ගැටළුවකි.

Adnan Mevic and his mother, Fatima
ඡායාරූප ශීර්ෂ වැකිය, බිලියන සයවැනි දරුවා වූ ඇඩ්නන් මෙවික් වෙසෙන්නේ, වසර 50ක දී ජනගහණය අඩකින් අඩුවිය හැකි රටක ය

මීළඟ බිලියනයක ජනතාවගෙන් අඩක්ම පැමිණෙනු ඇත්තේ රටවල් අටකින් පමණක් වන අතර - ඉන් වැඩි ප්‍රමාණයක් අප්‍රිකානු රටවල් ය - බොහෝ රටවල සාඵල්‍යතා අනුපාතය ස්ත්‍රියකට ළමුන් 2.1ට වඩා අඩුවනු ඇත. මේ, ජනගහණයක් ස්ථිරව පවත්වාගෙන යෑමට අවශ්‍ය සංඛ්‍යාව වන "ප්‍රතිස්ථාපන අනුපාතය" යි.

ලෝකයේ වේගයෙන්ම අඩුවන ජනගහණයන්ගෙන් එකක් වන බොස්නියා-හර්සගොවිනාහි වෙසෙන 23 හැවිරිදි ඇඩ්නන් මෙවික් මේ ගැන බොහෝවිට සිතයි.

"විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවන්න කවුරුවත් ඉතිරිවෙන එකක් නැහැ," ඔහු පවසයි. "තරුණ කට්ටිය ඔක්කොම අතුරුදහන්වෙලා යාවි."

ආර්ථික විද්‍යාව පිළිබඳ උසස් උපාධියක් ඇති ඔහු රැකියාවක් සොයමින් සිටියි. රැකියාවක් සොයාගත නොහැකිවුවහොත් ඔහු යුරෝපා සංගමයේ පදිංචියට යනු ඇත. නැගෙනහිර යුරෝපයේ සහ බෝල්කන් ප්‍රදේශයන්හි බොහෝ ප්‍රදේශයන් මෙන්ම ඔහුගේ රට ද අඩු සාඵල්‍යතාව සහ ඉහළ සංක්‍රමණය යන ද්විත්ව පහරට ගොදුරුවී ඇත.

ඇඩ්නන් සරයේවෝ නගරයේ සිට පැය භාගයක දුරින් වෙසෙන්නේ, ඔහුගේ උපත අළලා විශ්මයජනක මතක රැසක් ඇති ඔහුගේ මව වන ෆාතිමා සමග ය.

"දොස්තරලා, නර්ස්ලා මං වටේ රැස්වෙලා හිටපු නිසා අසාමාන්‍ය යමක් සිද්ධවෙලා බව මට හැඟුනා, නමුත් සිදුවෙන්නේ මොකද්ද කියලා මම දැනන් හිටියේ නැහැ," ෆාතිමා පවසන්නී ය. ඇඩ්නන් උපත ලැබූ විට, ලෝකයේ බිලියන සයවැනි දරුවා ලෙස ඔහු නම්කිරීමට එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් කොෆි අනන් පැමිණ සිටියේ ය. "මම ගොඩක් මහන්සිවෙලා හිටියේ, මට දැනුණේ මොකද්ද කියලා මම දන්නේ නැහැ," ෆාතිමා සිනාසෙමින් සිහිපත් කළා ය.

ඇඩ්නන් සහ ඔහුගේ මව ඔහුගේ ළමා කාලයේ ඡායාරූප ඇල්බම පෙරළයි. ඉන් එකක, කුඩා පිරිමි ළමයෙකු යෝධ කේක් ගෙඩියක් ඉදිරිපිට හිඳගෙන සිටින අතර, යුරෝපීය ඇඳුම් කට්ටල සහ හමුදා නිලඇඳුමින් සැරසුණු මිනිසුන් ඔහු දෙපස හිඳ සිටියි. "අනෙක් ළමයි බර්ත්ඩේ පාටි පවත්වද්දී, මාව බලන්න ආවේ දේශපාලඥයො," ඇඩ්නන් පවසයි.

නමුත් ඒ හා පැමිණි වරප්‍රසාදයන් ද විය. බිලියන සයවැනි දරුවාවීම නිසා, ඔහු එකොළොස් හැවිරිදිව සිටිය දී ඔහුගේ වීරයා වූ රියල් මැඩ්රිඩ්හි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හමුවීමට ඔහුට ආරාධනයක් ලැබුණි.

වසර 23කින් තවත් බිලියන දෙකක ජනතාවක් පෘථිවිය මතට එකතුවීම ඔහු විශ්මයට පත්කරයි. "ඒක ඇත්තටම මහගොඩක්. මම දන්නේ නැහැ අපේ ලස්සන ග්‍රහලෝකය ඒක කොහොම දරාගනීවි ද කියලා. අපි බලමු."

ඔයිෂි දේශගුණ විපර්යාස ගැන ද කණස්සල්ලට පත්ව සිටින අතර, ආන්තික කාලගුණය නිසා ඇතිවන විපත්වලට මුහුණදීමට බිලියන අටවැනි බිළිඳාට සිදුනොවනු ඇතැ යි බලාපොරොත්තු වේ.

එක් ආකාරයකින්, ලෝක ජනගහණය පැවතෙන්නේ මානව ඉතිහාසයේ වඩාත්ම විවිධාකාරවූ ස්ථානයක ය - යුරෝපයේ මධ්‍ය වයස අවු. 40ට වැඩි නමුත් අප්‍රිකාවේ දී එය 17ක් පමණි.

ඉන් අදහස්වන්නේ, සිය ජනගහණය වියපත්වන අතරේ ඔවුන්ගේ අනාගතය සැලසුම් කිරීමට, සහ මීළඟ බිලියනයක ජනතාවගේ සම්ප්‍රාප්තිය සඳහා සූදානම්වීමට රටවලට එකිනෙකාගෙන් ඉගෙනගත හැකි බොහෝ දෑ ඇතිබව යි.