ඊලොන් මස්ක්: ලොව ධනවත්ම පුද්ගලයා Twitter සමාගම මිළට ගැනීම සහ සේවක කප්පාදුවේ ආරම්භය

එය, සැන් ජෝස්හි සිසිල් කාලගුණයක් පැවති මාර්තු මාසයේ අග දිනක සන්ධ්‍යාවකි.

ලොව ධනවත්ම පුද්ගලයා පිළිගැනීම සඳහා Airbnb හෝටලයක ඉතා හදිසියේ සංවිධානය කරන ලද රැස්වීමකි.

මෙම හමුව ට්විටර් සඳහා අතිශය වැදගත් හමුවක් විය. ඊලොන් මස්ක් මෑතක දී ට්විටර්හි විශාලතම කොටස්හිමියා බවට පත්වූ අතර, ඔහුට මීළඟට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට බැඳීමට අවශ්‍ය වී තිබුණි.

ට්විටර්හි සභාපති බ්‍රෙට් ටේලර් මෙම හමුව පැවැත්වෙන ස්ථානයට පැමිණි විට දුටුවේ ඔහු කිසිසේත්ම අපේක්ෂා කළ දෙයක් නො වේ.

මෙය, "මම මෑතකදී සහභාගී වුණු රැස්වීම් පැවැත්වුණු ස්ථාන අතරින් අමුතුම ස්ථානය මේක,"යි සඳහන් කරමින් මස්ක්ට කෙටි පණිවිඩයක් යැවීමට ද ඔහු කටයුතු කළේ ය.

"ඔවුන් ගුවන්තොටුපළ අසල Airbnb එකක් සොයමින් ඉන්න ඇති. මෙහෙ ට්‍රැක්ටර් සහ බූරුවන් දකින්න පුළුවන්," ඔහු පවසා තිබුණි.

කෙසේ වෙතත් රැස්වීම සාර්ථක ලෙස පැවැත්විණි.

දින කිහිපයකට පසු, මස්ක් ට්විටර් අධ්‍යක්ෂක මණ්ඩලයට එක්වන බව නිවේදනය කෙරිණි.

එහි ආරම්භය එසේ සිදුවූ අතර, ඉන්පසුව ගෙවුණු සය මස සිලිකන් නිම්න ඉතිහාසයේ එතෙක් සිදු නොවුණු ආකාරයේ ගනුදෙනුවක් සිදුවනු දුටුවේ ය.

අප්‍රේල් මස මුල දී, මස්ක් ට්විටර්හි ඔහුගේ අධ්‍යක්ෂ තනතුර ගැන සතුටු වන බව පෙනෙන්නට තිබූ අතර, නුදුරු අනාගතයේ සමාගම ගන්නා ගමන්මඟ ගැන නිතිපතා ට්වීටර් ඔස්සේ ප්‍රකාශ සිදුකළේ ය.

කෙසේ වෙතත්, මස්ක් සහ ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී පරාග් අගර්වාල් අතර පෞද්ගලික හමුවීම් සාර්ථක වී තිබුණේ නැත. සාකච්ඡාවල දී දෙදෙනා කිසිදු එකඟත්වයකට පැමිණීමට අපොහොසත් වූහ.

මෙයින් කලකිරීමට පත් මස්ක්, "පරාග් සමග කතාබස් කිරීම, ට්විටර් නිවැරදි දිශාවකට යොමු කිරීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත..."යි කියමින් ටේලර්ට කෙටි පණිවිඩයක් යැවූ බව වාර්තා වේ. "මේ වෙනුවෙන් දැඩි පියවරක් ගැනීම අවශ්‍ය ය."

පසුගිය අප්‍රේල් 14 වැනිදා, තමාට ට්විටර් ආයතනය සම්පූර්ණයෙන්ම මිලදී ගැනීමට අවශ්‍යබව මස්ක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය.

ඔහු ට්විටර් මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 44ක් හෙවත් පවුම් බිලියන 38ක් පිරිනැමීමට සූදානම්වුවත් ට්විටර් මණ්ඩලය එය ප්‍රතික්ෂේප කළ අතර, මස්ක් විසින් සමාගම බලහත්කාරයෙන් මිලදී ගැනීම වැළැක්වීම සඳහා ප්‍රතිපාදන පවා නිර්මාණය කිරීමට ඔවුහු පියවර ගත්හ.

ඉන්පසු වරින්වර තීරණ වෙනස් කරමින් සිටි ට්විටර් අධ්‍යක්ෂක මණ්ඩලය, මෙම ගනුදෙනුව ගැන නැවත සළකා බැලීමෙන් පසුව මස්ක් වෙත සිය සමාගම විකිණීමට එකඟ වූ බව අප්‍රේල් 25 වන දින ට්විටර් පණිවිඩයක් ඔස්සේ නිවේදනය කළේ ය.

එයට පිළිතුරු ලෙස මස්ක්, "Yesssss" යනුවෙන් ට්වීට්කර තිබුණි.

ට්විටර් නිවැරදි දිශාවකට ගමන් නොකරන බවට මස්ක් තර්ක කළේ ය. ට්විටර් තුළ අදහස් ප්‍රකාශ කිරීම සඳහා බොහෝ සීමා ඇති බවත්, ලෝකයේ අදහස් දැක්වීමේ වේදිකාව ලෙස සැළකෙන එය අන් සියල්ලටම වඩා නිදහසේ අදහස් දැක්වීමට ඉඩ ලබාදිය යුතු බවත් ඔහු පැවසුවේ ය.

කැනඩාවේ වැන්කුවර්හි පැවති TED2022 සම්මන්ත්‍රණයේ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු තමා එහි ආර්ථික ප්‍රතිලාභ ගැන කිසිදු තැකීමක් නොකරන බවත් කියා සිටියේ ය.

එය වාසනාවන්ත විය. මන්දයත්, මෙම ගණුදෙනුවෙන් පසු ගෙවුණු සති සහ මාසවල දී කොටස් වෙළඳපොලේ තාක්ෂණය සම්බන්ධ කොටස්වල වටිනාකම පහළ ගියේ ය. ට්විටර්හි වටිනාකම ද ඒ සමගම අඩුවිය. වැඩිකල් යන්නට මත්තෙන්, මස්ක් ට්විටර් සඳහා වැඩි වටිනාකමක් ගෙවා ඇත්දැ යි බොහෝ විශ්ලේෂකයෝ ප්‍රශ්න කරන්නට වූහ.

ඊට පිළිතුරු දෙනු වෙනුවට මස්ක්, 'ට්විටර්හි සැබෑ ගිණුම් කීයක් තිබේ ද?' යි ප්‍රශ්න කළේ ය.

Forbes සහ Bloomberg විසින් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ශ්‍රේණිගතකර ඇති, ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 250ක් හෙවත් පවුම් බිලියන 216ක් පමණ වන ප්‍රකෝටිපතියා, වසර ගණනාවක් තිස්සේ ට්විටර්හි ඇති ව්‍යාජ ගිණුම් ගණන ගැන පැමිණිලිකර තිබේ.

ට්විටර් ඔහුගේ පිරිනැමීම පිළිගත් පසු, ට්විටර්හි කොපමණ සැබෑ පරිශීලකයින් සිටියි ද යන්න පිළිබඳ දත්ත ලබා දෙන ලෙස ඔහු ඔවුන්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියේ ය.

Twitter විධායකයින් විසින් අහඹු ලෙස ලබාගත් නියැදි ගිණුම් මත පදනම්ව, දිනපතා සක්‍රිය ගිණුම්වලින් 5%කට වඩා අඩු ප්‍රමාණයක් පමණක් ව්‍යාජ ගිණුම් බව දන්වා සිටි අතර, මස්ක් එයින් කෝපයට පත්වූ බවක් පෙනෙන්නට තිබුණි.

සමාගම මෙම ගණනයකිරීම කළ අකාරය පැහැදිළි කරමින් අගර්වාල් නිකුත්කළ දිගු ට්විටර් පණිවිඩයකට ප්‍රතිචාර ලෙස මස්ක්, 'මළ (poop)' ඉමොජිය ට්වීට් කිරීමට කටයුතු කළේ ය.

මස්ක් සහ ට්විටර් අතර ගනුදෙනුව බිඳ වැටෙමින් තිබුණි. ජූලි 8 වන දින, මස්ක් තමන්ට ගිවිසුමෙන් ඉවත්වීමට අවශ්‍ය බව නිවේදනය කළ විට, එය සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත සිදුවීමක් වූයේ නැත.

ඔහු සමාගම වෙනුවෙන් වඩා හොඳ මිලක් ලබා ගැනීමට උත්සාහ කළේ ද, නැතහොත් ඔහු සැබවින්ම ගිවිසුමෙන් ඉවත්වූයේ ද නැත්ද යන්න එවකට පැහැදිලි වූයේ නැත.

මස්ක්ගේ මෙම තීරණයට ට්විටර් සමාගම එකඟ නොවූ අතර, දැනටමත් නීත්‍යානුකූලව සිදුවී ඇති මෙම ගනුදෙනුවෙන් ඉවත්වීම කළ හැකි දෙයක් නොවන බවට ඔවුහු තර්ක කළ හ.

දෙපාර්ශ්වය වෙනුවෙන්ම ඉතා ඉහළ මිලක් අය කරන නීතීඥයින් සිටින බැවින්, සමාගම මිලදී ගැනීමට මස්ක්ට බලකෙරේ ද යන්න තීරණය කිරීම සඳහා ඔක්තෝබර් 17 දින ඩෙලවෙයාර්හි උසාවි දිනයක් නියම කෙරී තිබුණි.

උසාවියට ඉදිරිපත් කළ ලේඛන ඔස්සේ, තම ආයතනය සතුව කොපමණ සැබෑ පරිශීලකයින් සිටියි ද යන්න පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු මස්ක්ට ලබා දී ඇති බවට ට්විටර් තර්ක කළේ ය.

ට්විටර් ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා කිහිප ගුණයක්ම ව්‍යාජ ගිණුම් එහි තිබිය හැකි බවට මස්ක් තර්ක කළ අතර, සමාගම තමන්ට වංචා කළ බවටත් ඔහු චෝදනා කළේ ය. මහජන විවේචන විසින් ට්විටර්හි කීර්ති නාමයට හානිවන්නට වූ අතර, එය ට්විටර්හි ආදායමට ද බලපෑවේ ය. ට්විටර්හි ආදායමෙන් අති බහුතරය වෙළඳ දැන්වීම්වලින් ලැබෙන අතර, තම දැන්වීම් සැබවින්ම සැබෑ පුද්ගලයින් කී දෙනෙකුට පෙනෙනු ඇත්දැ යි එම සමාගම් කල්පනා කරන්නට විය.

ට්විටර් මූලස්ථානය ද මෙම ක්‍රියාවලිය නිසා කැළඹීමට ලක්ව තිබුණි. මස්ක් තම ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්වීමේ අදහසට සමහර සේවකයින් කැමති වූ අතර, තවත් බොහෝ දෙනෙක් පුද්ගලිකව ද, ඇතැමෙක් ප්‍රසිද්ධියේම ද එයින් සමාගමට ඇති වන අසුබවාදී වෙනස්කම් ගැන අදහස් දක්වා තිබුණි.

මස්ක්, ට්විටර්, විනිසුරුවරුන් මෙන්ම මාධ්‍යවේදීන් ද නොවැළැක්විය හැකි ලෙස කතාබහට ලක්වීමට නියමිත අධිකරණ නඩුවක් වෙනුවෙන් සූදානම් වෙමින් සිටිය හ. නමුත් ක්ෂණයෙන් සියල්ල කණපිට ගැසුණි.

මේ සියලුම චෝදනා සිදුකිරීමෙන් සහ කලබගෑනි ඇතිකිරීමෙන් පසු, ගනුදෙනුව යළිත් සිදුවන බව මස්ක් නිවේදනය කළේ ය.

"ට්විටර් මිලදී ගැනීම X ඇප් එක නිර්මාණය කිරීම වේගවත් කිරීමට හේතුවක්," ඔහු පැවසුවේ ය.

ඔහුගේ අදහස වෙනස්වූයේ කුමක් නිසා ද? ඇතැම්විට නඩුව පැරදෙනු ඇතැ යි ඔහු සිතුවා විය හැකි ය. ඔහු තම අදහස වෙනස්කිරීම ප්‍රකාශ කිරීමට දින කිහිපයකට පෙර, ඔහු ට්විටර් නීතීඥයින් ඉදිරියේ සාක්ෂිදීමකට ලක්වීමට නියමිතව සිටියේ ය. ඇතැම් විට ඔහුට අවශ්‍යවූයේ දුෂ්කර හා බොහෝ විට කරුණු හෙළිදරව් වන අන්දමේ හරස් ප්‍රශ්නවලින් වැළකී සිටීමට විය හැකි ය.

හේතුව කුමක්වුවත්, ට්විටර් මෙය ප්‍රීතිජනක සිදුවීමක් ලෙස සලකා ප්‍රසිද්දියේ සැමරුවේ නැත්තේ ඇයි ද යන්න ඔබට සිතාගත හැකි ය. සිදුවීම් සිදුවූ ආකාරය ගැන ඇති වූ ලැජ්ජාවෙන් යුතු ට්විටර් මෙයට ප්‍රතිචාර දැක්වූයේ නිහඬව සිටීමෙනි. "මස්ක් සමග එකඟවූ මිල සහ නියමයන් මත ගනුදෙනුව අවසන් කිරීමට සමාගම කැපවී සිටින" බව ටේලර් විසින් ට්වීට් පණිවුඩයක් ඔස්සේ ප්‍රකාශ කළේ ය.

ට්විටර් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ද නඩුව කල්දමන ලෙස මිස අවලංගු කරන ලෙස නොවේ. එයට මස්ක්ගේ නීතීඥයින් ප්‍රතිචාර දැක්වූයේ, එයට එකඟවීම ට්විටර් පිළිතුරක් ලෙසට භාරනොගන්නා බව යි.

කිසි විටෙක යළි එකතු කළ නොහැකි ලෙස බිඳීගිය බව පෙනුණු ගනුදෙනුවක් දැන් අවසන් වී තිබේ.

මස්ක් ට්විටර් සේවක කප්පාදුව අරඹයි

තම සමාගම දිනකට ඩොලර් මිලියන 4ක් හෙවත් පවුම් මිලියන 3.5කට වඩා පාඩු ලබන බැවින්, සේවකයන් ඉවත්කිරීම හැර වෙනත් විකල්පයක් තමන්ට නොමැතිබව ට්විටර්හි නව හිමිකරු ඊලෝන් මස්ක් පවසයි.

ඩොලර් බිලියන 44ක හෙවත් පවුම් බිලියන 38.7ක මිලක් ගෙවා ට්විටර් සමාගම මිල දී ගෙන සතියකට පසුව, මස්ක් විසින් සමාගමේ කාර්ය මණ්ඩලයෙන් අඩක් ඉවත් කරනු ලැබිණි.

සේවයෙන් පහකරන ලද ට්විටර් කාර්ය මණ්ඩල සාමාජිකයන්, තමන් සේවයෙන් පහ කිරීම ගැන ට්විටර් ඔස්සේම කතාකර තිබුණි.

ට්විටර්හි අන්තර්ගතය පාලනය කිරීමට ද කටයුතු කෙරෙනු ඇතැ යි අදහසක් පැතිර යන නමුත්, මස්ක් පවසන්නේ සමාගමේ ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම නොවෙනස්ව පවතින බව යි.

ලොව පුරා ට්විටර් කාර්ය මණ්ඩලයේ සේවකයන් දහස් ගණනකට රැකියා අහිමිවනබවට සිකුරාදා වාර්තා පළවූ විට, ට්විටර්හි පළවන අහිතකර අන්තර්ගතයන් ඉවත් කිරීමෙහි යෙදී සිටින සේවකයින්ගේ අනාගතය පිළිබඳව ද ප්‍රශ්න මතුවිය.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු මතභේදාත්මක පුද්ගලයින්ට පනවා ඇති ස්ථිර ට්විටර් තහනම් ඉවත්වීමේ ඉඩක් ද තිබේ. මෙම වෙනස්කම් සිදුවීමට නියමිතව ඇත්තේ එක්සත් ජනපද මැතිවරණයට ආසන්න කාලයකවීම නිසා, අසත්‍ය සහ නිවැරදි නොවන තොරතුරුවල වැඩිවීමක් ද අපේක්ෂා කෙරේ.

ට්විටර්හි "ආදායමේ ඇති වී ඇති දැවැන්ත පහත වැටීමට" හේතුව ඇමරිකාවේ භාෂණයේ නිදහස විනාශ කිරීමට උත්සාහ කරන "ක්‍රියාකාරී කණ්ඩායම්" බවට සිකුරාදා මස්ක් විසින් කළ ප්‍රකාශයෙන් පසුව මෙම සැක සංකා ඇතිවී තිබේ.

ට්විටර්හි ආරක්ෂාව සහ අඛණ්ඩතාව පිළිබඳ ප්‍රධානී යොයෙල් රොත් පැවසුවේ, ටිව්ටර් අන්තර්ගතය පාලනය කිරීමෙහි මූලිකවී සිටින 2,000කට වැඩි අන්තර්ගත පරිපාලකයින් වැඩි දෙනෙකුට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.

මෙම සේවක කප්පාදුව ට්විටර්හි සුරක්ෂිතතාව පිළිබඳව කටයුතු කරන කණ්ඩායමේ පිරිසෙන් 15%කට පමණ බලපා ඇති බව ඔහු පවසන අතර, එම සංඛ්‍යාව ඔහු පැවසූ ප්‍රමාණයට සාපේක්ෂව 7,500ක පිරිසක් සිටින කාර්ය මණ්ඩලයකින් 50%ක සේවක කප්පාදුවකි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, මස්ක් විසින් ට්විටර් අත්පත්කර ගැනීම ගැන පසුගිය සිකුරාදා සිය කනස්සල්ල පළ කළේ ය. "ඊලෝන් මස්ක්, ලොව පුරා අසත්‍ය බැහැර කිරීම වෙනුවෙන් ඇති මෙවලමක් මිලදී ගත්තේ ය. ඔහු එය මිලදී ගැනීමත් සමග අවදානමට ලක්වන දේ මොනවාදැ යි අපේ දරුවන් තේරුම්ගන්නේ කෙසේ ද?"

පසුගිය සිකුරාදා, සිය කාර්ය මණ්ඩලය වෙත යවන ලද අභ්‍යන්තර විද්‍යුත් තැපෑලකින් මස්ක් කියා සිටියේ "සමාගමේ සාර්ථකත්වය තහවුරු කරමින් එය ඉදිරියට ගෙනයාම සඳහා සේවකයන් කප්පාදු කිරීමේ අවාසනාවන්ත තීරණය ගැනීම අත්‍යවශ්‍ය" වී ඇති බව යි.

තමන්, කාර්යාලීය ලැප්ටොප් පරිගණකවලින් සහ පණිවිඩ යැවීමේ පද්ධතියක් වන Slack වෙතින් ඉවත්කර ඇති බව ට්විටර් කාර්යමණ්ඩලය විසින් තහවුරු කර තිබේ.

බොහෝ කාර්ය මණ්ඩල සාමාජිකයන් ප්‍රකාශ කළේ ඔවුන් සමාජ මාධ්‍යයන්ගේ පළ කිරීම්වලින් ඉවත්කර ඇති බවත්, අලෙවිකරණ කණ්ඩායමේ සිට ඉංජිනේරුවන් දක්වාම බොහෝ දෙනෙකු මෙම කප්පාදුවට හසුවී ඇති බවත් ය.

මෙම කප්පාදුවට සංනිවේදන, අන්තර්ගත පරිපාලක සහ නිෂ්පාදන සංවර්ධන සේවකයින් ද ඇතුළත් වී තිබුණි.

රැකියා කප්පාදුව පිළිබඳ ප්‍රවෘත්තිය එනතෙක් බලා සිටි එක් සේවකයෙකු, වඩා ආයු කාලයක් ඇත්තේ ඔහුගේ ට්විටර් පිවිසුම් අවසරයට ද, නැතහොත් සලාද කොළයකටදැ යි විහිලු ස්වරූපයකින් විමසා තිබුණි. මෙය හිටපු බ්‍රිතාන්‍ය අගමැතිනි ලිස් ට්‍රස්ගේ අග්‍රාමාත්‍යධුරය ගැන බ්‍රිතාන්‍ය පුවත්පතකින් පළකර තිබුණකි.

Volkswagen, General Motors සහ Pfizer ඇතුළු ප්‍රධාන වෙළඳ සමාගම් රාශියක් සිය වෙළඳ ප්‍රචාරණයන් වෙනුවෙන් ට්විටර් වෙත කරන වියදම් මේ වනවිට නතර කර තිබේ.

ට්විටර්හි සියලුම ආදායම දැනට ලැබෙන්නේ වෙළඳ ප්‍රචාරණයෙන් වන අතර, මස්ක් ට්විටර්හි වියදම් කප්පාදුකර ආදායම වැඩි කිරීමට ක්‍රම සොයමින් සිටියි. සිය පරිශීලකයන්ගෙන් මාසික අය කිරීමක් සිදු කිරීම ඉන් එක් ක්‍රමයකි.

මසකට ඩොලර් 8ක ගාස්තුවක් ගෙවන පරිශීලකයන්ගේ ට්වීට් පණිවිඩවලට සෙවීම්වල දී වැඩි ඉඩක් ලබාදීමට මස්ක් යෝජනා කළේ ය. එමෙන්ම ඔහු විසින් පරිශීලක ගාස්තු ගෙවීමට කැමති පිරිසට ප්‍රතිලාභ ලබා දෙන පද්ධතියක් නිර්මාණය කරමින් සිටින බව ටද බොහෝ පිරිස් වෙතින් විවේචන එල්ල විය.

ට්විටර් සේවකයින්, පසුගිය බ්‍රහස්පතින්දා සමාගමට එරෙහිව නඩුවක් ගොනු කරමින් කියා සිටියේ දින 60ක දැනුම්දීමකින් තොරව විශාල රැකියා කප්පාදුවක් සිදු කිරීමෙන් සමාගම ෆෙඩරල් සහ කැලිෆෝනියානු නීතිය උල්ලංඝනය කර ඇති බවයි.