ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ තහංචිය බැසිල් රාජපක්ෂට එරෙහිව ද ?

ඡායාරූප මූලාශ්‍රය, Pacific Press
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී බොහෝ දෙනෙක් මතු කළ කාරණයක් වූයේ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර දැරීමට ඇති තහංචිය පැවතිය යුතු බවටයි. කෙසේ වෙතත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත වී ඇත.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම් අහිමි වෙයිද? යන්න දේශපාලන වේදිකාවේ මේවන විට පවතින ප්‍රධාන සංවාදයකි.
එහෙත් සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ හිටපු සභාපති මහින්ද පතිරණ ෆෙස්බුක් සටහනක් තබමින් විමසා ඇත්තේ, ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියන්ට වැට බඳින නීති සම්මත කරගන්නා විට ඉන්දියානු සම්භවයක් සහිත රිෂී සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්ව ඇති බවයි.
"දෛවයේ උපරිම සරදමක් ලෙස, ලංකාවේ ඉපදුන, එහි සංස්කෘතිය හා බැඳුණු එහෙත් වෙනත් රටක ද තාක්ෂණික පුරවැසිකමක් හිමි අයට පාර්ලිමේන්තු වැට බඳින ගෝත්‍රික තීරණ ගන්නා විට, ඉන්දියානු සම්භවයක් සහිත, එමෙන්ම බිරිඳ තාමත් ඉන්දියානුවෙකු වන, බිරිඳගේ පියා ඉන්දියාවේ බිලියනපති ව්‍යාපාරිකයෙකු ද වන, රීෂී සුනක් බ්‍රිතාන්‍ය අගමැති ධුරය සඳහා කන්සවේටිව් පක්ෂයේ නායකත්වයට තේරී පත්විය. අප කොයි යන්නේ?" මහින්ද පතිරණ සිය ෆේස්බුක් සටහන මගින් විමසා තිබේ.
ද්විත්ව පුරවැසියන් මන්ත්‍රී ධුර වලින් ඉල්ලා අස්විය යුතුද?
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේ මේ වන විට ද්විත්ව පුරවැසියන් දස දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටින බවට වාර්තා වන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙන්නේ එය මන්ත්‍රීවරුන් අතර ප්‍රසිද්ධ රහසක් බවයි.ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිදු මන්ත්‍රීවරයෙකු ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොමැත.
වාර්තා වන අන්දමට ද්විත්ව පුරවැසිභාවය හෝ වෙනත් රටවල ස්ථිර නේවාසිකභාවය හිමි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටිති.
චන්න ජයසුමන පෙන්වා දෙන්නේ, "ලංකාවේ පුරවැසිකම කොහොමටත් නැති එක්කෙනෙක් දෙන්නෙකුත් ඉන්නවා කියලාත් අපිට ආරංචිව පවතිනවා. ඔවුන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ"
පාඨලී චම්පික රණවකද කියා සිටියේ ඔවුන් මන්ත්‍රී ධුර වලින් ඉල්ලා අස්විය යුතු බවයි.
"මම හිතන්නේ දැන් ඒ ද්විත්ව පුරවැසිභාවය දරන සියලුම දෙනා නම්බුකාර පිටින් ඉල්ලා අස්විය යුතුයි. මොවුන්ට ඒ ධුරය දැරීමේ කිසිම හැකියාවක් නැහැ. රටක රාජ්‍යමය බලතලයක්, යම් යම් නිලතලයක් උසුලනවා නම් මුලින්ම ඒ රට ගැන කැක්කුමක් තියෙන්න ඕනි. ඒ රටට බැඳීමක් කියන්න ඕනි. තව රටකට අවි ගැනීමේ පොරොන්දුවක් දීලා මේ රටේ බලතල දරන්න දරන උත්සාහයක් කවුරුහරි කරනවා නම් ඔහු අඩුගානේ මේ රටේ පුරවැසියෙක් හැටියට වත් සලකන්න බැහැ. කවුරුහරි කියනවා නම් මට රටට සේවය කරන්න ද්විත්ව පුරවැසිභාවය තියන කෙනෙක් වෙන්න ඕනැයි කියලා කියල ඇත්තෙන්ම ඔහුගේ කැපවීම එකෙන්ම ප්‍රකාශ කරනවා.මොකද අමෙරිකාව හෝ වෙනත් රටක සුවපහසුවෙන් ජීවිත ගත කරන ගමන් ලංකාවෙත් ජොලියෙන් ඉඳලා ප්‍රශ්නයක් මතු උනොත් ඊළඟ ප්ලේන් එකෙන් පැනලා යන්න පුළුවන් විදිහේ මානසික තත්ත්වයක් ඒ තුළ ගැබ්වෙලා තියෙන නිසා." චම්පික රණවක අවධාරණය කළේය.
ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ තහංචිය බැසිල් රාජපක්ෂට එරෙහිව ද ?
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පෙන්වා දෙන්නේ, එක පුද්ගලයෙක් හෝ කීහිප දෙනෙක් ඉල්ලක්ක කර ව්‍යවස්ථා සංශෝධන නොකළ යුතු බවයි.
"10 දෙනෙක් ඉන්නවා 15 දෙනෙක් ඉන්නවා කියලා කියනවා මම නම් දන්නේ නැහැ කව්ද ඒ කියන්නේ කියලා.අවුරුදු 5කට ජනවරමක් දුන්නේ එහෙම පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න නෙමේ." ඇය අවධාරණය කළාය.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තම පුරවැසිභාවයට ප්‍රශ්නයක් නොමැති බව ඇය පැවසුවාය. "මට බලපෑමක් වෙන්න හේතුවක් නැහැනේ. මම ද්විත්ව පුරවැසියෙක් නෙමේ. මමත් අද ඉස්සුවා ඕකට. තියෙනවා නම් ඕන කෙනෙක් ඔප්පුකරන්නකෝ මට ද්විත්ව පුරවැසි භාවය තියෙනවා කියලා."
ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ තහංචියෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ දේශපාලන ගමනට බාධාවක් වෙයිද?
මන්ත්‍රී පාඨලී චම්පික රණවක " එතුමාගේ අනාගතය සමහර විට එතුමා පාර්ලිමේන්තුවට එන්න. සමහරවිට අග්‍රාමාත්‍ය ධුරය ලබාගන්න. සමහර විට ඊළඟ පාර ජනාධිපතිවරණයට තරග කරන්න බලාපොරොත්තු තියෙන්න ඇති. එහෙම තිබුණා නම් එතුමා කළ යුතුව තිබුණේ එතුමාගේ අමෙරිකානු පුරවැසිභාවය අතහැරලා එන ඒක. හැබැයි එකටවත් කැපවීමක් නැත්නම් එතුමාගේ කැපවීම පිළිබඳ විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා" කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියා සිටියේ 22 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේදී පාර්ලිමේන්තුවේ ඊට විරුද්ධ වූයේ බැසිල් රාජපක්ෂ පාර්ශවය බවයි.
"ඔය එකට විරුද්ධ වෙන්න එක හේතුවක් උනේ ද්විත්ව පුරවැසිභාවය කියන කාරණය. අනෙක් කාරණය තමයි ඒගොල්ලෝ පුන පුනා කියපු අවුරුදු හතරහමාරක් යනකන් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ කියලා කියන කාරණය ඒකට ඇතුළු කරන්න කියලා දැඩි ඉල්ලීමක් කළා" .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ "කපුටු පාර්ශවය විරුද්ධ වුණා ද්විත්ව පුරවැසිභාවය කියන කාරණය මත. " යන්නයි.
ද්විත්ව පුරවැසියන් ගැන දැන ගන්නේ කොහොමද ?
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසන්නේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සියලු මන්ත්‍රීවරුන්ගෙන් දිවූරුම් ප්‍රකාශයක් හරහා තොරතුරු ලබාගත යුතු බවයි .
ඔහු කියා සිටියේ ස්වේච්ඡාවෙන් ප්‍රකාශයට පත් නොකළ හොත් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ දැනගැනීම ගැටලුවක් වනු ඇති බවයි.
"සමහරු තමන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රසිද්ධියේ නොකියා ඉන්නත් පුළුවන්. ඉතින් එක දැනගන්න මං හිතන්නේ පුළුවන් නම් මේ තොරතුරු දැනගැනීමේ අයිතිය උඩ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව මහ ලේකම්තුමාගෙන් මෙවැනි විමසීමක් කරන්න එහෙම තියෙනවද කියලා" රවුෆ් හකීම් පැවසීය.
මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ, පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් සහ ශ්‍රී ලංකා පුරවැසිභාවය නොමැති අය පාර්ලිමේවන්තුවෙන් නෙරපා හැරීම සඳහා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
2020 අගෝස්තු මස පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන අවස්ථාව වන විට මෙරට බලපැවැත්වුණේ 19 වැනි සංශෝධනය බවත් එම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බවත් චන්න ජයසුමන අවධාරණය කළේය.
ද්විත්ව පුරවැසිභාවය ඇති අයෙකු මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට මැතිවරණ කොමිසමට බලය තිබේ ද ?
මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළේ ද්විත්ව පුරවැසියෙකුට මැතිවරණයකට ඉදිරිපත් වීමට නාමයෝජනා භාර දීම වැළැක්වීමට හෝ දැනට මන්ත්‍රී ධුරයක් හොබවන්නේ නම් ඉන් ඉවත් කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවයි.
එසේ කරන්නේ නම් අදාළ පුද්ගලයාගේ පුරවැසිභාවය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කරමින් කවුරුන් හෝ අධිකරණය ඉදිරියට යා යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කළේය.











