ජනපති රනිල් සහභාගී වන ලෝකයම අවදානය දිනාගෙන ඇති ශින්සෝ අබේගේ ආන්දෝලනාත්මක අවමංගල්‍යය

Japanese PM Abe waits for U.S. President Obama to arrive for their meeting at the G20 Summit in St. Petersburg

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ශින්සෝ අබේ ජපානයේ විදේශ ප්‍රතිපත්තිය නැවත සකස් කළ අතර එමඟින් ඔහුට ආධාරකරුවන් මෙන්ම් විරුද්ධවාදීන් යන දෙපාර්ශවයම ඇතිවිය

මීට සතියකට පෙර බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සඳහා ලොවම ලන්ඩනයට රැස් වූහ. දැන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තවත් රාජ්‍ය අවමංගල්‍ය උක්සවයක් සඳහා ලෝව අනෙක් පසට යමින් සිටියි. ඒ, ඝාතනයට ලක් වූ ජපානයේ හිටපු අගමැති ශින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවය වෙතයි.

අවම වශයෙන් ඩොලර් මිලියන 11.4 ක් ඇස්තමේන්තු කර ඇති මෙම අවමංගල්‍ය උත්සවය ගැන ජපන් ජාතිකයන් වැඩි කැමැත්තක් දක්වන බවක් නොපෙනේ.

පසුගිය සති කිහිපය තුළ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට දක්වන විරෝධතා වැඩි වෙමින් පවතී. මත විමසුම්වලින් පෙනී යන්නේ රටේ ජනගහනයෙන් අඩකට වඩා දැන් එය පවත්වනවාට විරුද්ධ බවයි.

මෙම සතිය මුලදී, ටෝකියෝ හි අගමැති කාර්යාලය අසල පුද්ගලයෙකු ගිනි තබා ගත්තේය. සඳුදා 10,000 ක් පමණ විරෝධතාකරුවන් අගනුවර වීදි හරහා ගමන් කළේ අවමංගල්‍ය කටයුතු නතර කරන ලෙසට බලකරමිනි.

එහෙත්, අනෙක් අතට, මෙම උත්සවය ලොව පුරා සිටින ජපානයේ මිත්‍ර පාක්ෂිකයින් ආකර්ෂණය කර ගෙන තිබේ. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහභාගී නොවනු ඇති නමුත් උප ජනාධිපතිනි කමලා හැරිස් සහභාගී වනු ඇත. සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග් ද පැමිණේ.

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සහ ඔහුගේ පූර්වගාමීන් තිදෙනෙකු ද පැමිණේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැජිනගේ අවමංගල්‍ය උත්සවය මඟ හැරිය නමුත් අබේට ගෞරව දැක්වීම සඳහා ටෝකියෝ වෙත පියාසර කරයි.

රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සභාගිවී නැවත මවුරට පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහ ද අබේට ගෞරව දැක්වීම සඳහා ටෝකියෝ වෙත යාමට අද උදැසන ශ්‍රී ලංකාවෙන් පිටත් විය.

රනිල් වික්‍රමසිංහ 2015 ඔක්තෝම්බර් 6 වන දින ටෝකියෝ හි පිහිටි අබේගේ නිල නිවසේදී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රනිල් වික්‍රමසිංහ 2015 ඔක්තෝම්බර් 6 වන දින ටෝකියෝ හි පිහිටි අබේගේ නිල නිවසේදී

ඔහුගේ අවමංගල්‍ය කටයුතු සඳහා ලෝක නායකයන් එක්රැස් වෙද්දීත්, ඔහුගේම රටේ බොහෝ දෙනෙක් එයට විරුද්ධ වන්නේ ඇයි?

පළමුව, මෙය සාමාන්‍ය උත්සවයක් නොවේ. ජපානයේ, රාජ්‍ය අවමංගල්‍ය උත්සව අධිරාජ්‍යයාගේ පවුලේ සාමාජිකයන් සඳහා පමණක් වෙන් කර ඇත. දෙවන ලෝක යුද්ධයේ සිට දේශපාලනඥයෙකුට මෙම ගෞරවය ලබා දී ඇත්තේ එක් වරක් පමණි. ඒ 1967 දී ය. එබැවින් අබේට රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් ලබා දීම මහත් ගෞරවයකි.

එය එක් අතකින් වැදගත් වන්නේ ඔහු මිය ගිය ආකාරය නිසාය. ජූලි මාසයේ මැතිවරණ රැස්වීමකදී ඔහු වෙඩි තබා ඝාතනය කරන ලදී. ජපානය ඔහු ගේ වියෝවෙන් ශෝක විය. මත විමසුම්වලට අනුව ඔහු කිසි විටෙක විශාල ජනප්‍රියත්වයක් ලබා නොතිබුණ ද, ඔහු රටට ස්ථාවරත්වය සහ ආරක්ෂාව ගෙන ආ බව ප්‍රතික්ෂේප කරන්නේ ස්වල්ප දෙනෙකි.

එබැවින් ඔහු වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වීමට තීරණය කිරීම ද ඔහුගේ තත්ත්වය පිළිබිඹු කිරීමකි. කිසිවකු ඔහු තරම් අගමැති කාර්යාලයේ වැඩි කාලයක් සේවය නොකළ අතර, යුද්ධයෙන් පසුව ආ කිසිදු දේශපාලකයෙකු ඔහු තරම් ජපානයේ තත්ත්වය ඉහළට ගෙනැවිත් නොමැත.

Funeral of late former Japanese Prime Minister Shinzo Abe, in Tokyo

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අබේගේ අනපේක්ෂිත කම්පන සහගත මරණයෙන් දහස් ගණන් ශෝකයට පත් විය

දේශපාලන විද්‍යාඥයෙකු සහ අබේගේ හිටපු උපදේශකයෙකු වන මහාචාර්ය කසුටෝ සුසුකි පවසන්නේ "ඔහු ඉදිරි දැක්මක් ඇති කෙනෙක්" ලෙසය.

"වෙනස්වන බල තුලනය ඔහු තේරුම් ගත්තා. නැගී එන චීනය, කලාපයේ බල තුලනය වෙනස් කර බල තුලනය විකෘති කරන බව ඔහුට තේරුණා. එබැවින් ඔහුට නායකත්වය ගන්න අවශ්‍ය වුණා."

ආසියා පැසිෆික් කලාපය තුළ ඇමරිකානු මිත්‍ර රටවල් සියල්ල එක් යෝධ නිදහස් වෙළඳ කලාපයකට ගෙන ඒම සඳහා වූ ජනාධිපති බරක් ඔබාමාගේ විශාල සැලැස්ම වන ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය (TPP) සිහිපත් කරමින් මහාචාර්ය සුසුකි පැවසීය.

2016 දී, ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදය ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වයෙන් ඉවත් වූ විට, එය කඩා වැටෙනු ඇතැයි සියල්ලෝ ම අපේක්ෂා කළහ. නමුත් එය එසේ සිදු වූයේ නැත.

එම අවස්ථාවේ අබේ නායකත්වය භාර ගෙන, ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය සඳහා වූ විස්තීරණ සහ ප්‍රගතිශීලී ගිවිසුම හෙවත් CPTPP නිර්මාණය කළේය.

එය අමුතු නමක් වූ නමුත් එය ජපානය ආසියාවේ පෙරමුණට ගෙන එනු ඇති බවට ඉඟි පළ කළේය. එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර සන්ධානයක් වන Quad නිර්මාණය කිරීමේදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

ඊටත් වඩා වැදගත් වන්නේ අබේ ජපන් හමුදාවේ කළ ප්‍රතිව්‍යුහගත කිරීම් ය.

2014 දී එවක අගමැති පාර්ලිමේන්තුව හරහා ජපානයේ සාමවාදී පශ්චාත් යුද ව්‍යවස්ථාව "නැවත අර්ථකථනය කිරීමට" බල කළේය.

එය ජපානයට "සාමූහික ආත්මාරක්ෂාව" ක්‍රියාත්මක කිරීමට අවස්ථාව දුන්නේය. එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට ජපානයට තම දේශසීමාවෙන් ඔබ්බෙහි යුද්ධමය කටයුතු සඳහා එක්සත් ජනපදය සමඟ එක්වීමට හැකි වේ.

මෙය අතිශයින් මතභේදයට තුඩු දුන් අතර, ඒවා අදටත් පවතී. රාජ්‍ය අවමංගල්‍යයට එරෙහිව ටෝකියෝවේ පෙළපාලි ගිය දහස් ගණනක් අබේ ජපානය යුද්ධය කරා ගෙන ගිය බවට චෝදනා කරති.

"අබේ සාමූහික ආත්මාරක්ෂක පනත සම්මත කළා," විරෝධතාකරුවකු වූ මචිකෝ ටකුමි පැවසීය. "ඒ කියන්නේ ජපානය ඇමරිකානුවන් සමඟ සටන් කරාවි. ඔහු ජපානයට නැවත යුද්ධයකට තල්ලු කළා. ඒ නිසා මම රාජ්‍ය අවමංගල්‍යයකට විරුද්ධයි."

ජපානය යුද්ධයෙන් කම්පනයට පත් වූ රටකි. නමුත් අබේ වෙත චෝදනා එල්ල වන්නේ අතීත පරමාණු බෝම්බ පිළිබඳ මතකයන් නිසා ම නොවේ.

People protest against the state funeral for former Japanese prime minister Shinzo Abe in Tokyo, Japan

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජ්‍ය අවමංගල්‍යයට විරුද්ධ වූවන් පවසන්නේ අබේ යුදකාමියෙකු බවයි

ජපානයේ පශ්චාත් යුද ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වන්නේ රට "යුද්ධ කිරීමට ඇති අයිතිය අත්හරින" බවයි. ඔහුට එය වෙනස් කිරීමට අවශ්‍ය නම් අබේ ජනමත විචාරණයක් කැඳවිය යුතුව තිබුණි. නමුත් ඔහු පරදින බව දැන සිටියේය. ඒ වෙනුවට, ඔහු ගෙන ආ නීතියෙන් ව්‍යවස්ථාව "නැවත අර්ථකථනය" කළේය.

ටෝකියෝ හි සොෆියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොයිචි නකානෝ පවසන්නේ, "අබේ මිනිසුන්ට වග නොකියන කෙනෙකු ලෙසයි සලකන්නේ. ඔහු මොනවා කළත් ඔහු එය කළේ ව්‍යවස්ථාපිත මූලධර්මවලට පටහැනිවයි. ඔහු එය කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට විරුද්ධවයි."

නමුත් ඔහුගේ ආධාරකරුවන් දකින්නේ වෙනත් කෝණයකිනි. ඔවුන්ට අනුව ඔහු වෙනත් ලෝක නායකයන්ට පෙර, චීනයෙන් නැගී එන තර්ජනය දුටු අතර, ජපානය එක්සත් ජනපදය සමඟ පූර්ණ වශයෙන් සන්ධාන ගත විය යුතු බවට තීරණය කළ අයෙකි.

"අබේට දුර දැක්මක් තිබුණා," ඔහුගේ හිටපු උපදේශක සුසුකි පවසයි. "චීනය නැඟිටින බවත්, එක්සත් ජනපදය කලාපය තුළ පසු බසින බවත් ඔහු දුටුවා. එක්සත් ජනපදය මෙම කලාපයට සම්බන්ධ කර ගැනීමට නම්, අපව ආරක්ෂා කර ගැනීමට අපට බලය තිබිය යුතු බව ඔහු තේරුම් ගත්තා."

ඇමරිකාව සහ චීනය ගැන සමානව කනස්සල්ලට පත්ව සිටින ආසියාවේ තවත් බොහෝ රටවල් විසින් නැවත සන්නද්ධවන හා දක්ෂ ජපානයක් නිසැකවම පිළිගනු ලැබීය.

අබේ ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ සහාය ලබා ගත්තේය. ඔහු ඝාතනය වූ අවස්ථාවේ ඉන්දීය අගමැති මෝදි ඉන්දියාවේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළේය.

නමුත් අබේ ගැන ශෝකයට පත් නොවන එක් ස්ථානයක් තිබේ. ඒ, ඔහු නැවත නැවතත් යුදවාදියෙකු සහ සංශෝධනවාදියෙකු ලෙස හෙළා දකින චීනය යි.

චීනයේ උප ජනාධිපති වැන්ග් කිෂාන් ලන්ඩනයට ගිය නමුත් චීනයෙන් පිටත කිසිවකු නොහඳුනන හිටපු විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයකුව ටෝකියෝ හී අවමංගල්‍ය උත්සවයට යැවීමට හේතුව එය විය හැකිය.