බිපින් රාවත්: හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉන්දියාවේ 'ප්‍රබෝධමත් අණදෙන නිලධාරියා'

දෙසැම්බර් 08 වැනිදා තමිල්නාඩුවේ දී හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ජෙනරාල් බිපින් රාවත්, ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම ආරක්ෂක නිලධාරියා විය.

2019 දී ඔහු ඉන්දියාවේ පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කරන ලද අතර, ඉන් පෙර ඔහු මිලියනයක් වූ ඉන්දියානු හමුදා සෙබලුන්ට නායකත්වය සැපයීය.

63 හැවිරිදි වියේ පසුවූ ඔහු දැඩි ගතිගුණ ඇති සොල්දාදුවෙකු සහ ප්‍රබෝධමත් අණ දෙන නිලධාරියෙකු ලෙස කීර්තියක් ලබා සිටි අතර, දේශපාලනික සිදුවීම් පිළිබඳ ඔහුගේ අදහස් ඇතැම් විට මතභේදයට තුඩු දුන්නේ ය.

ජෙනරල් රාවත් උපත ලැබුවේ 1958 මාර්තු 16 වන දින උතුරු ඉන්දියාවේ උත්තරඛන්ඩ් ප්‍රාන්තයේ ය.

ඔහුගේ පියා ඉන්දීය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයෙකු වූ අතර මව දේශපාලනඥයෙකුගේ දියණියකි.

හමුදා පුහුණුව ලබන සමයේ දක්ෂතම ශිෂ්‍යයෙකු වූ ජෙනරාල් රාවත්ට, ජාතික ආරක්ෂක විද්‍යාලයයෙන් සහ ඉන්දියානු හමුදා ඇකඩමියෙන් "ස්වෝඩ් ඔෆ් ඔනර්" නම් සම්මානය පිරිනමනු ලැබුණි.

ඔහු ඇ.එ.ජ. කැන්සස් ප්‍රාන්තයේ ෆෝට් ලෙවන්වර්ත්හි පිහිටි එක්සත් ජනපද හමුදා අණදෙන නිලයන්ගේ සහ සාමාන්‍ය මාණ්ඩලික විද්‍යාලයයේ පුහුණු පාඨමාලාවක් ද සම්පූර්ණ කළේ ය.

1978 දී ඔහු සිය පියාගේ හමුදා ඛණ්ඩය වූ එකොළොස්වැනි ගුර්කා රයිෆල් බලකායට බැඳුණි.

එයින් පසු ඔහු හමුදාවේ ප්‍රධාන තනතුරු කිහිපයක්ම දැරූ අතර, ඉහළ උන්නතාංශයන්හි යුධ වැදීම සහ කැරලි මර්ධන මෙහෙයුම් පිළිබඳ විශේෂඥයෙකු ද විය.

ඔහු ඉන්දියාවේ කලබලකාරී කලාපවල හමුදා ඒකකවලට ද අණදුන් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

1980 ගණන්වල දී චීනය සමග ඇති වූ හමුදා ගැටුමක් අතරේ, එකල හමුදා කර්නල්වරයෙකු වූ ජෙනරාල් රාවත් අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ "සැබෑ පාලන රේඛාව" ඔස්සේ සිය බලඇණිය මෙහෙයවීය ("සැබෑ පාලන රේඛාව" යනු ඉන්දු-චීන දේශසීමා ආරවුලේ දී ඉන්දියානු පාලිත භූමිය චීන පාලන ප්‍රදේශයෙන් වෙන් කරන සංකල්පමය සීමා රේඛාවකි).

ඉන්දියාව විදේශ භූමි ප්‍රදේශයක නිල වශයෙන් සිදුකළ පළමු ප්‍රහාරක මෙහෙයුම ජෙනරාල් රාවත් විසින් ඇරඹුණේ 2015 දී ඔහු 3 වන සේනාංකය භාරව සිටිය දී ය. එවර ඔහු විසින් ඉන්දියානු හමුදා වෙත සැඟවී සිට පහරදුන් මියන්මාරයේ නාග කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැරා-කමාන්ඩෝ බලඇණියක් යවන ලදී.

එවසරේ දීම ඔහු ඉන්දියාවේ නාගාලෑන්ඩ් ප්‍රාන්තයේ දී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් දිවි ගලවා ගත්තේ ය.

2016 දී ඔහු ඉන්දියාවේ 27 වැනි හමුදා ප්‍රධානියා ලෙස වැඩ භාර ගත්තේ ය. ඒ, ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු අභිබවා යමිනි.

2017 වසරේ දී ඉන්දියාව ජාත්‍යන්තර ආන්දෝලනයක් ඇති කළේ, ඉන්දු පාලිත කාශ්මීරයේ දී සිය ජීප් රථයේ ඉදිරිපසට සිවිල් වැසියෙකු ගැට ගැසූ හමුදා නිලධාරියෙකුට පදක්කමක් පිරිනැමීමෙනි.

ජෙනරාල් රාවත් ඒ වෙනුවෙන් පෙනී සිටියේ, නිලධාරියාගේ ක්‍රියාව "අසාධාරණ යුද්ධයක්" අතරතුර සිදුකෙරුණු "නව නිර්මාණයක්" ලෙස විස්තර කරමිනි.

"මිනිස්සු අපට ගල් ගහනවා, මිනිස්සු අපට පෙට්‍රල් බෝම්බ ගහනවා. මගේ මිනිස්සු මගෙන් ඇහුවොත් අපි මොකද කරන්නේ කියලා, මම කියන්න ද බකන්නිලාගෙන ඉඳලා මැරිලා පලයන් කියලා? මම ජාතික කොඩියක් එක්ක ලස්සන මිනී පෙට්ටියක් අරන් එන්නම්, උඹලයි බොඩිය ගෞරවාන්විතව ගෙදර යවන්නම්, හමුදා ප්‍රධානියා විදියට මම මේ මිනිස්සුන්ට කියන්න ඕනේ එහෙම ද? එහේ ඉන්න මගේ හමුදා පිරිසේ චිත්ත ධෛර්යය පවත්වාගන්න මට සිද්ධවෙනවා," ඔහු පැවසීය.

2019 දී නරේන්ද්‍ර මෝදිගේ රජය විසින් ඉන්දීය යුද හමුදාව, නාවික හමුදාව, සහ ගුවන් හමුදාව අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පිහිටුවිණි.

හමුදාවේ මූල්‍ය පාලනය ද මේ නව තනතුර සතුවිය.

ජෙනරාල් රාවත් මෙම ධුරයට පත්කෙරුණු විට, ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට (BJP) සමග ඔහුට සමීප සම්බන්ධයක් ඇතැ යි විවේචන එල්ලවුණි. නමුත් ඔහු සෑම විටම මෙම චෝදනාවන් ප්‍රතික්ෂේප කළේ ය.

ඔහුගේ විවේචකයන් පැවසුවේ ඔහුගේ ඇතැම් ප්‍රකාශයන් ඉන්දීය හමුදාවේ "අදේශපාලනික" සම්ප්‍රදායට පටහැනි බව යි.

ඉස්ලාමිකයන් ආධිපත්‍යය දරන සමස්ත ඉන්දීය එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය ඇසෑම් ප්‍රාන්තය තුළ නැගී සිටීම වරක් ඔහු විස්තර කළේ ජාතික ආරක්ෂක තර්ජනයක් ලෙස ය. මෙනිසා, ඔහු භාරතීය ජනතා පක්ෂයේ සටන් පාඨයන් "ගිරවෙකු" මෙන් දොඩනබවට සුළුජාතික නායකයෝ ඔහුට චෝදනා කළෝ ය.

මෑතක දී ජෙනරාල්වරයා අවධානය යොමුකර සිටියේ ඉන්දීය හමුදාව නවීකරණය කිරීම කෙරෙහි ය.

ත්‍රිවිධ හමුදාව සඳහා ඒකාබද්ධ හමුදා විධානයන් තවමත් පිහිටුවා නොතිබුණ ද, ජෙනරාල් රාවත්ගේ නායකත්වය යටතේ හමුදා ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වී තිබුණි.