තමිල්නාඩු හෙලිකොප්ටර් අනතුරින් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරුට

ඉන්දියාවේ ඉහළම හමුදා ප්‍රධානියා වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් සහ ඔහුගේ පවුලේ අය රැගත් හමුදා හෙලිකොප්ටරය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දී කඩා වැටී තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් ඇතුළු පිරිස පියාසර කරමින් සිටි MI-17V5 වර්ගයේ හෙලිකොප්ටරය කුනූර් නගරය ආසන්නයේ දී අනතුරට ලක් වී ඇත.

එම හෙලිකොප්ටර් අනතුරින්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවට් මියගිය බව ඉන්දීය ගුවන් හමුදාව පවසයි.

හෙලිකොප්ටරය කඩා වැටෙන අවස්ථාවේ ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවට් , ඔහුගේ බිරිඳ සහ තවත් 11 දෙනෙකු යානයේ ගමන් කරමින් සිටි ඇත.

අනතුරින් පසු යානයේ සිටි එක් මගියෙකු රෝහල් ගත කර තිබේ.

63 හැවිරිදි ජෙනරාල් රාවට් 2019 ජනවාරි මාසයේදී ඉන්දියාවේ පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කරන ලදී.

හෙලිකොප්ටරයේ සුන්බුන්වලින් ඝන දුමාරයක් පිටවන අයුරුත්, ප්‍රදේශවාසීන් ගින්න නිවා දැමීමට උත්සාහ කරන අයුරුත්, යානය කඩා වැටුණු ස්ථානයේ දී ලබාගත් ඡායාරූපවලින් දැක්වේ.

ජෙනරල් රාවත් සහ ඔහුගේ බිරිය ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටරය ගමනට පිටත්ව ඇත්තේ සූලූර්හි හමුදා කඳවුරෙනි. එහි ගමනාන්තය වී ඇත්තේ කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි වෙලින්ටන් නගරය යි.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇතැ යි ඉන්දීය ගුවන් හමුදාව පැවසීය.

ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමක් පැවැත්වෙන බව ද ANI පුවත් සේවය වාර්තා කළේ ය.

ආරක්ෂක ආමාත්‍ය සිං මෙම අනතුර පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි දැනුවත්කර ඇති අතර, ඔහු තව සුළු මොහොතකින් පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවත්, එහිදී ඔහු අනතුර පිළිබඳ වැඩි විස්තර ලබා දෙනු ඇති බවත් පුවත් ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

Mi-17V5 යනු ඉතාම නවීන හමුදා ප්‍රවාහන හෙලිකොප්ටරයක් වුව ද, ඉන්දියාවේ බොහෝ හමුදා ගුවන් අනතුරුවලට හේතුව ලෙස දක්වන්නේ එරට පැරණි හමුදා ගුවන් යානා බලඇණිය යි.

2017 වසරේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් හමුදා සාමාජිකයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මෙම අනතුර සිදුවූයේ පුහුණුවීමක් අතරේ දී ය.

ඊට වසරකට පෙර, උත්තර්ඛන්ඩ් ප්‍රාන්තයේ හමුදා අභ්‍යාසයක් අතරතුර දී තවත් හෙලිකොප්ටරයක් ගුවන්ගත වූ වහාම කඩා වැටුණි. නමුත් ඉන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවීය.