ඉන්දියාවේ 'අභිරහස්' රෝගයක්!

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් 'අභිරහස් රෝගයක්' වාර්තා වීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් වහාම එම ප්‍රදේශය වෙත යැවීමට ඉන්දීය බලධාරීහු පියවර ගත්හ.

මෙම රෝග තත්වයට ගොදුරුවීමෙන් සිය ගණනක් රෝහල් ගත කර ඇති අතර එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මෙම රෝගීන්ට වමනය, ක්ලාන්තය, ඇඟ වෙව්ලීම ඇතුළු පුළුල් පරාසයක රෝගී ලක්ෂණ මතු වී ඇති බව වෛද්‍යවරු පවසති.

ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කියා සිටියේ මෙම රෝගීන්ගේ රුධිරයේ ඊයම් සහ නිකල් ඉහළ ප්‍රමාණයක් පවතින බව මූලික රුධිර පරීක්ෂණවලින් පෙනී ගොස් ඇති බවය.

ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තය තුළ මෙවැනි තත්වයක් ඇති වී තිබෙන්නේ ඉන්දියාව කොරෝනා වසංගතය සමඟ ද දැඩි සටනක් ගෙන යන අතරතුර ය.

එම ප්‍රාන්තය තුළ සිටින කොවිඩ් 19 රෝගීන් ප්‍රමාණය 800,000කට අධික ය. කොරෝනාවෛරසයට ගොදුරු වූ වැඩිම පිරිසක් සිටින ප්‍රාන්ත අතුරින් තුන්වැනි ස්ථානයේ සිටින්නේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයයි.

නමුත් පසුගිය සති අන්තය තුළ හදිසියේ අසනීප වී රෝහල්ගත කෙරුණු ඉහත කී පිරිසට කොරෝනාවෛරසයේ බලපෑමක් සිදු වී ඇති බවක් පෙනෙන්නට නැත.

ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය අලා කාලි ක්‍රිෂ්ණා ශ්‍රිනිවාස් පැවසුවේ එම රෝගීන් කිසිවෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණවලින් සනාථ වූ බවය.

එමෙන්ම, වෙනත් කිසිදු වර්ගයක වෛරසයක් හෝ ආසාදනය වී නොමැති බව රුධිර පරීක්ෂණවලින් ඔප්පු වී ඇතැයි ද ඔහු පැවසීය.

"අසනීප වූ පිරිස ජීවත් වන ප්‍රදේශයට නිලධාරීන් ගියා. අපි හිතනවා මේ රෝගයට හේතුව ජල දුෂණයක් හෝ වායු දුෂණයක් විය හැකි බව. මේක අබිරහස් රෝගය මොකක්ද කියල හෙළිදරව් කරගන්න පුළුවන් වෙන්නේ රසායනාගාර පරීක්ෂණවලින් පමණයි." අමාත්‍යවරයා පැවසීය.

කෙසේ නමුත්, භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී වී එල් නරසිම්හ රාඕ විසින් මාධ්‍යවේදීන් වෙත යවනු ලැබූ කෙටි පණිවිඩයක සඳහන් වන්නේ මූලික පරීක්ෂණවලට භාජනය කරන ලද බොහෝ රුධිර සාම්පලවල ඊයම්, නිකල් සහ වෙනත් බර ලෝහ අණු වැඩි ප්‍රමාණක් පැවති බවය.

වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වූ ප්‍රදේශයේ වෛද්‍යවරු සමඟ වසවිෂ පාලනය පිළිබඳ විශේෂඥයන් ද සම්බන්ධවී කටයුතු කරන බව ඉන්දියාවේ උප ජනාධිපතිවරයා කළ විමසීමකදී දැනගන්නට ලැබී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

බලධාරීන් පවසන්නේ මේ වන විට රෝගීන් 500ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් 300 දෙනෙකු පමණ ප්‍රතිකාරවලින් අනතුරුව රෝහලින් පිටත් කර හැර ඇති බවය. වැඩිදුර ප්‍රතිකාර සඳහා 19 දෙනෙකු වෙනත් රෝහල් කරා ගෙන ගොස් තිබේ.

මහ ඇමති ජගන්මෝහන් රෙඩ්ඩි, රෝගීන්ගේ සුවදුක් විමසීම සඳහා එලුරු රජයේ රෝහල වෙත ගොස් ඇති බව ද වාර්තා විය.

වෛද්‍ය නිලධාරීන් මාධ්‍යයට කියා සිටියේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පිරිසක් එලුරු රෝහල වෙත පැමිණීමට නියමිත බවය.

මෙම අභිරහස් රෝගයට හේතුව සොයා ගැනීම සඳහා වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස විරුද්ධ පක්ෂ කණ්ඩායමක් ඉල්ලීමක් කර තිබේ.