ඉන්දියාවේ උරගයින් සහ කුඩා සතුන් වෙනුවෙන් පාලමක්

වනෝද්‍යාන සහ රක්ෂිත වනාන්තර මැදින් ඉදිවුණු මාර්ග හරහා ගමන් කරමින් සිටියදී මෝටර් රථවල ගැටී මරණයට පත් හෝ බරපතල තුවාල ලැබූ වන සතුන් පිළිබඳ ඡායාරූප වර්තමානයේ දුලභ නොවේ. එවැනි අනතුරුවලින් වන සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව විවිධ රටවල් ගෙන ඇති විකල්ප ක්‍රමවේද පිළිබඳ ඡායාරූප ද බොහෝ විට සමාජ ජාල තුළ දැකිය හැක. උරගයින් සහ කුඩා සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවී නිලධාරීන් ගත් අපූරු පියවරක් පිළිබඳ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන්නේ ඒ අතරතුරදීය.

ඉන්දියාවේ කඳුකර ප්‍රාන්තයක් වන උත්තර්ඛන්ද් හි කාර්යබහුල අධිවේගී මාර්ගයක් හරහා එහා මෙහා යා හැකි පරිදි උරගයින් සහ කුඩා වන සතුන් එනුවෙන් පාලමක් ඉදිර්කිරීමට එරට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.

උණ ගස්, කොහු ලණු සහ තෘණ විශේෂ යොදා ගනිමින් ඉදි කරන ලද "පරිසර හිතකාමී පාලම" අඩි 90 ක් දිගින් යුක්තය. ලොව ඇති ඒ ආකාරයේ එකම පාලම එය බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ප්‍රාන්තයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වූ නයිනිතල් වෙත වැටී ඇති මාර්ගය ඔස්සේ මෝටර් රථ වේගයෙන් පැමිණෙන අතර ඒවා බොහෝ සතුන් මතින් ධාවනය වෙයි.

පාලම වෙත සතුන් ගෙන්වා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් විසින් මේ වන විට ඒ මත වැල් සහ තෘණ වර්ග වැවීමට පියවර ගනු ලැබ ඇත.

"උරගයින් සහ අනෙකුත් සතුන් බොහෝ දෙනෙක් මේ අධිවේගී මාර්ගයේ ධාවනය වෙන සංචාරක මෝටර් රථවල ගැටී මිය යනවා," යනුවෙන් ප්‍රාන්තයේ වනජීවී නිලධාරියෙකු වන චන්දර් ශේකර් බීබීසිය වෙත කියා සිටියේය. සතුන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කිරීම සඳහා පාලම දෙපස කැමරා සවි කරනු ලැබ ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට අදාළ පාලම ද සංචාරකන්ගේ ආකර්ෂණයට ලක්ව තිබේ. එය පසුකර යන බොහෝ දෙනෙක් එහි ඡායාරූප සහ 'සෙල්ෆි' ලබා ගැනීමට සිය මෝටර් රථ ඒ අසල නවත්වති. ඉක්මනින්ම වන සතුන් ද පාලම වෙත ආකර්ෂණය කර ගැනීමට හැකි වෙතැයි වනජීවී නිලධාරීහු බලාපොරොත්තු පළ කරති.

"මෙය ඝන වනාන්තරයක්. අලි ඇතුන්, දිවියන්, මුවන් සහ ගෝනුන් මේ අවට සැරිසරනවා.රියදුරන්ට ඔවුන් ඈත තියා දැකලා වේගය අඩු කරන්න හෝ මෝටර් රථ නවතා ගන්න පුළුවන්කම තිබෙනවා. එහෙත් සර්පයන්, කටුස්සන්, තලගොයි වැනි සතුන් සහ ලේනුන්ට ඔවුන් එසේ කරන්නේ ඉතා අඩු වශයෙන්." යනුවෙන් වනජීවී නිලධාරියෙක් 'ඉන්ඩියන් එක්ස්ප්‍රස්' පුවත්පතට පවසා තිබිණි.

එම ප්‍රදේශයේ කුඩා සතුන් සහ උරගයින් ආරක්ෂා කර ගැනීමට මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරවා ගැනීමට ඉහත කී පාලම උපකාරී වනු ඇති බවට වනජීවී නිලධාරීහු බලාපොරොත්තු පළ කරති.

මේ ගැනත් කියවන්න: