ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔස්ට්‍රේලියාව : තල්මසුන් 400කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහින් තවත් සිය ගණනක් ටැස්මේනියානු වෙරළේ සිරවේ
ඔස්ට්‍රේලියාවේ ටැස්මේනියා වෙරළ තීරයේ අතරමං වූ තල්මසුන් 380ක් පමණ මියගොස් ඇති අතර, මෙය මෙතෙක් වාර්තා වූ විශාලතම ගණන දැයි සැක පහළ කරන බව බලධාරීහු පවසති.
සඳුදා දින (සැප්තැම්බර් 21) සිට, ටැස්මේනියාවේ බටහිර වෙරළ තීරය ආසන්නයේ සිර වී සිටින නියමු තල්මසුන් සිය ගණනක් සොයාගෙන තිබේ.
මේ වන විට තල්මසුන් 500කට ආසන්න ප්‍රමාණයක් එම ප්‍රදේශයේ සිරවී සිටිති.
බදාදා (සැප්තැම්බර් 23) වන විට ඉන් පනස්දෙනෙකු බේරා ගැනීමට මෙහෙයුම්වල නිරත වන පිරිස සමත් වූ අතර තවත් තල්මසුන් තිස් දෙනෙකු නැවත පා කර හැරීමට ඔවුහු උත්සාහ කළහ .
ටැස්මේනියානු රජයේ නිලධාරීන් පැවසුවේ "සජීවී සතුන් සිටින තාක් කල්" ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවය.
"ඔවුන් ජීවතුන් අතර සිටිමින් ජලයේ සිටිනතාක් කල්, ඔවුන් ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. නමුත් කාලය ගෙවී යත්ම ඔවුන් වඩාත් තෙහෙට්ටුවකට පත් වෙයි," නික් ඩෙකා පැවසීය.
මේ අතර, වෙරළ තීරයේ විසිරී ඇති සිය ගණනක් මළකඳන් ඉවත් කිරීම කෙරෙහි ද දැන් අවධානය යොමු වනු ඇතැයි ඔහු පැවසීය.
තල්මසුන් වෙරළට ඇදුනේ කුමන හේතුවක් නිසා දැයි තවමත් හෙළි වී නොමැත. සමුද්‍ර ජීව විද්‍යාඥයින් පවසන්නේ ගලවා ගැනීමේ මෙහෙයුමට දින කීපයක් ගතවනු ඇති බවය.
තල්මසුන් වෙරළට ඇදීම මෙම මුහුදු කලාපය තුළ බහුලව දක්නට ලැබෙන නමුත් මෙවැනි ප්‍රමාණයක් පැමිණීම දශකයකට වැඩි කාලයක් තුළ සිදු නොවිණි.
2009 දී තල්මසුන් දෙසීයක් මෙලෙසින් වෙරළට පැමිණීම ටැස්මේනියාවෙන් අවසන් වරට වාර්තා වූ වැඩිම ප්‍රමාණයයි.
තල්මසුන් සිටින්නේ කොහෙද?
ටැස්මේනියානු සමුද්‍රීය සංරක්ෂණ වැඩසටහනට සම්බන්ධ බේරා ගැනීමේ මෙහෙයුම්වල යෙදෙන පිරිස සඳුදා සවස් යාමයේ දී 'මැකොරි හෙඩ්ස්' නම් දුරස්ථ ප්‍රදේශයේ සිටි තල්මසුන් කණ්ඩායම් තුනක් සොයා ගෙන තිබිණි. එම ප්‍රදේශයට ඇතුළු වීමට ඇත්තේ සීමිත මාර්ග ප්‍රමාණයක් පමණි.
තල්මසුන් දෙසීයක් පමණ බෝට්ටු නවතාලන වැලි කණ්ඩියක් අසළ සිටි අතර තවත් 30 දෙනෙකු ඉන් මීටර් සිය ගණනක් ඈතින් සිට ඇත. තවත් 30ක් පමණ වෙරළ තීරය ආසන්නයේ සිට සොයාගෙන තිබිණි.
බොහෝ තල්මසුන් "සාපේක්ෂව පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි" ස්ථානවල සිටින අතර, බේරා ගැනීමේ මෙහෙයුම්වල යෙදෙන්නන්ට මෙය දැඩි අභියෝගයක් වී තිබේ.
කෙසේ වෙතත් ගැඹුරු ජලයට සමීපව සිටි සමහර තල්මසුන් සාර්ථකව නැවතත් මුහුදට යොමු කර තිබිණි.
ඔවුන් බේරා ගන්නේ කෙසේද?
බේරාගැනීමේ මෙහෙයුම් සඳහා පුහුණුව ලත් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අඟහරුවාදා උදෑසන වන විට තල්මසුන් කුඩා සංඛ්‍යාවක් "නැවත පාකර" යැවීම ආරම්භ කර තිබිණි. උපකරණය භාවිත කරමින් සතුන් වැලි කණ්ඩියෙන් ගැඹුරු ජලයට තල්ලු කර තිබේ.
"සාමාන්‍යයෙන් අපි ගනුදෙනු කරන්නේ මුහුදු වෙරළ උඩට ඇවිත් වියැළී සිටින සතුන් සමඟයි. මෙය වෙනස්. දැන් අපට හමුවෙලා ඉන්නේ පාවීමට හැකි සතුන් නිසා ඔවුන් නැවත පා කර හැරීමට වැඩි කාලයක් ගත වෙන එකක් නැහැ. ටිකක් තදින් කෑ ගැහිල්ලක් තමයි අවශ්‍ය වෙන්නේ," වනජීවී ජීව විද්‍යාඥ ආචාර්ය ක්‍රිස් කාර්ලියන් පැවසීය.
තල්මසුන් ජලයේ හොඳින් ක්‍රියා කිරීම ආරම්භ කළ පසු ඊළඟ පියවර වන්නේ ඔවුන් තවදුරටත් පිටතට යොමු කිරීමය.
දැඩි මුහුදු රැළි හේතුවෙන් මෙම කාර්යය අභියෝගයක් විය හැකි යැයි ආචාර්ය ක්‍රිස් කාර්ලියන් වාර්තාකරුවන්ට පැවසුවේය. ඔවුන් මෙහෙයවීම සඳහා බෝට්ටු භාවිත කිරීමට ද සිදුවනු ඇත.
බොහෝ සතුන් ප්‍රමාණයෙන් විශාල වීම හෝ නුසුදුසු ස්ථානයක සිටීමට හැකි බව ද ඔහු පැවසීය.
නියමු තල්මසුන් දිග මීටර් හතක් දක්වා වර්ධනය විය හැකි අතර බර ටොන් තුනක් පමණ විය හැකිය.
බේරා ගැනීමේ යෙදෙන්නන්ගේ පෙර අත්දැකීම් අනුව නියමු තල්මසුන්ට මුහුදු වෙරළේ දින තුනක් හෝ හතරක් ජීවත් විය හැකි අතර මෙවර බොහෝ සතුන් ප්‍රමාණයක් "තෙත් සහ සිසිල්" වාතාවරණයක සිටින බවත් ඔහු පැවසීය.
සතුන් කණ්ඩායම පිළිබඳ පූර්ණ තක්සේරුවක් අඟහරුවාදා (සැප්තැම්බර් 22) සිදු කිරීමට නියමිතව තිබිණි. තමන්ට ප්‍රමාණවත් සහායකයින් සිටින බව පැවසු නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ එම ස්ථානයෙන් ඉවත්ව සිටින ලෙසය.
තල්මසුන් මුහුදු වෙරළට පැමිණෙන්නේ ඇයි?
හේතුව බොහෝ විට නොදන්නා බව විද්‍යාඥයෝ පවසති.
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අවට සෑම වසරකම විවිධ වර්ගයේ තල්මසුන් දහසක් තරම් විශාල කණ්ඩායම් සෘතුමය සංක්‍රමණයේ යෙදෙති.
පර්යේෂකයන් පවසන්නේ ඔවුන් නායකයෙකු අනුගමනය කරන අතර ඔවුන්ගේ ශක්තිමත් සමාජ බැඳීම් නිසා සමස්ත කණ්ඩායමම වෙරළට පැමිණෙන බවය.
"එය ඔවුන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු විසින් සිදු කරන ලද එක් අවාසනාවන්ත ක්‍රියාවක් විය හැකියි. නියමු තල්මසුන් සමාජ බැඳීම් සහිත සතුන් විශේෂයක් වන නිසා කණ්ඩායමේ අනෙක් සතුන් ද ඒ දෙසට ඇදී යන්නට ඇති" යනුවෙන් ආචාර්ය ක්‍රිස් කාර්ලියන් පැවසීය.
2018 දී නවසීලන්තයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සතියක කාලයක් තුළ නියමු තල්මසුන් 200 කට වැඩි පිරිසක් මිය ගියහ.