ස්පාඤ්ඤයේ හිටපු රජතුමා රටහැර ගියේ දූෂණ චෝදනා නිසා ද?

swiss,spain

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජුවාන් කාර්ලෝස් හිටපු රජතුමාට එරෙහිව ස්පාඤ්ඤයේ මෙන්ම ස්විට්සර්ලන්තයේත් පරීක්ෂණ පැවැත්වෙයි

ස්පාඤ්ඤයේ හුවන් කාර්ලෝස් (Juan Carlos) හිටපු රජතුමා රටහැර ගොස් ඇති අතර ඔහු එම ගමන ගොස් තිබෙන්නේ තමා යන ස්ථානයක් පිළිබඳව දැනුවත් නොකරමිනි. හිටපු රජතුමා එවැනි පියවරක් ගෙන තිබෙන්නේ දූෂණ චෝදනාවන්ට අදාළ පරීක්ෂණයකට ඔහුගේ නම ගෑවීමත් සමඟය.

අසූ දෙහැවිරිදි කාර්ලෝස් රජතුමා රටින් බැහැරවීම දන්වා තිබෙන්නේ තම පුත්‍රයා වන වත්මන් ස්පාඤ්ඤ කිරුළ දරන ෆිලිපේ (Felipe) රජු අමතා ලියන ලද ලිපියක් මගිනි.

හුවන් කාර්ලෝස් මෙයින් වසර හයකට පෙර ස්පාඤ්ඤයේ ඔටුන්න සිය පුත්‍රයාට පැවරීය.

තමා රටින් පිටව යන නමුත් නීති නිලධාරීන්ට ප්‍රශ්න කිරීමට අවශ්‍ය වුවහොත් එය සිදුකළ හැකි බවද ඔහු සඳහන් කර ඇත.

සෞදි අරාබිය සමඟ ඇතිකර ගන්නා ලද අධිවේගී දුම්රිය කොන්ත්‍රාත්තුවකට හුවන් කාර්ලෝස් සම්බන්ධ වී ඇති බවට චෝදනා ඉදිරිපත් වීමෙන් අනතුරුව, ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජුනි මාසයේ ඒ සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කළේය.

හිටපු රජතුමා විසින් සිය පුත්‍රයා වෙත යොමුකරන ලද ලිපිය සඳුදා (අගෝස්තු 03) ප්‍රකාශයට පත් කෙරුණු අතර ඒ වනවිට ඔහු රටින් පිටවී ඇති බවට වැඩි ඉඩකඩක් ඇතැයි ' El País' ස්පාඤ්ඤ පුවත්පත වාර්තා කළේය. එහෙත් ඔහුගේ ගමනාන්තය කුමක්ද යන්න පැහැදිලි නැත.එහෙත් බොහෝ ස්පාඤ්ඤ වාර්තා අනුව කියවෙන්නේ ඔහු ඩොමිනිකානු ජනරජයට ගොස් ඇති බවකි.

''1975 වසරේ දී ජනරාල් ෆ්‍රැන්කෝ ගේ (General Franco) මරණින් අනතුරුව ස්පාඤ්ඤය ඒකාධිපති පාලනයකින් ප්‍රජාතන්ත්‍රවාදය කරා ගෙන ඒම සඳහා රට සාර්ථකව මෙහෙයවන ලද නායකයෙකු ලෙස ඉතිහාසය තුළ සටහන් වූ හුවන් කාර්ලෝස් වැනි රජෙකුගේ මෙම පිටව යාම නින්දාසහගත වූවක්'' යැයි බීබීසී යුරෝපා වාර්තාකරු නික් බීක් (Nick Beake) පවසයි.

වසර හතළිහක් ස්පාඤ්ඤ කිරුළ දැරූ හුවන් කාර්ලෝස් රජතුමා සිය කැමැත්තෙන් ම කිරුළ අත්හරින ලද්දේ 2014 වසරේදීය. රජතුමා එම පියවර ගන්නා ලද්දේ ඔහුගේ දියණියගේ සැමියා දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පැටලීම සහ රට ආර්ථික අර්බුදයක පසුවන අතරවාරයේ රජු අලිඇතුන් දඩයමේ කිරීමේ සංචාරයක නිරතවීම මුල්කර ගනිමින් විවේචන එල්ලවීමෙන් අනතුරුවය.

SPAIN

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්පාඤ්ඤයේ කිරුළ දරන ෆිලිපේ (Felipe) රජතුමා තම පියාගෙන් දුරස්ථව කටයුතු කරන පිළිවෙතක් අනුගමනය කරයි

ලිපියේ අන්තර්ගතය කුමක්ද?

රටින් පිටවීමේ තීන්දුව ගැනීමට බල පෑ හේතු පිළිබඳව සිය ලිපිය මගින් කරුණු දක්වන හිටපු රජතුමා, ''තමාගේ අතීත පෞද්ගලික ජීවිතයේ නිශ්චිත ක්‍රියාකාරකම් කෙරෙහි එල්ලවෙන අනපේක්ෂිත ප්‍රතිචාර '' පිළිබඳව සඳහන් කර ඇත. ඒ අනුව සිය පුත්‍රයාට අවුලකින් තොරව සහ සංසුන්ව රාජ්‍යත්වයට පැවරෙන වගකීම් ඉටුකිරීම සඳහා පසුබිම සකස්කිරීම හුවන් කාර්ලෝස්ගේ අභිප්‍රාය වී ඇත.

''නියෝග මගින් මග පෙන්වනු ලබන ආකාරයට කටයුතු කිරීම ස්පාඤ්ඤ ජනතාවට, අපේ රටේ ආයතනවලට සහ රජතුමා ලෙස ඔබට කළ හැකි ඉහළම සේවාව වේ. මේ මොහොතේ රටින් පිටව යාමේ මගේ තීරණය මම ඔබට දැනුම් දෙන්නෙමි'' යි හුවන් කාර්ලෝස් සිය පුත්‍රයාට ලියා ඇත.

''මම මේ තීන්දුව ගන්නේ අතිශය සංවේදී හැඟීම් සහිත නමුත් ඉතාම සංසුන් මනසකින්'' හිටපු රජතුමාගේ ලිපියේ දැක්වේ..

''හයවැනි ෆිලිපේ (King Felipe VI) රජතුමා සිය පියා විසින් ගනුලැබ ඇති තීන්දුවට මුළු හදවතින්ම සිය ගෞරවය සහ කෘතඥතාව පළකරන ලදැයි'' 'Zarzuela' රජ මාලිගය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක සඳහන් වේ.

''හයවැනි ෆිලිපේ (King Felipe VI) රජතුමා සිය පියාගෙන් තමාට උරුම වූ වත්කම් සියල්ල පසුගිය මාර්තු මාසයේ සිය කැමැත්තෙන්ම අත්හැර දමන ලදී.ඒ අතරම හුවන් කාර්ලෝස් හිටපු රජතුමාට වාර්ෂිකව සපයන ලද යුරෝ 228,000ක ප්‍රදානය අත්හිටවන බවද රජ මාලිගය විසින් නිවේදනය කරනු ලැබිණි.

දූෂණ චෝදනා මොනවාද?

2014 ජූනි මාසයේ හුවන් කාර්ලෝස් රජතුමා රජකම අත්හැර දමනු ලැබීමෙන් පසු සෞදි අරාබි ව්‍යාපෘතියට අදාළ ඔහුගේ සම්බන්ධකම් තහවුරු කිරීම සිය අරමුණ බව ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත. කිරුළ අත්හැර දමනු ලැබීමත් සමඟ රජතුමාට අධිකරණ මුක්තිය අහිමි වේ.

සෞදි අරාබියේ මක්කම සහ මෙදීනා (Mecca-Medina) අතර දුම්රිය මාර්ගයකට අදාළ ගිවිසුමක් මගින් ස්පාඤ්ඤ සමාගම්වලට යුරෝ බිලියන 6.7ක් හිමි විය.

එම මූල්‍ය ගනුදෙනුවට ස්විස් බැංකු පවා හවුල් වී ඇත.

හුවන් කාර්ලෝස් රජතුමා ස්විස් බැංකුවල රහස්‍ය ගිණුම් කිහිපයක් පවත්වා ගෙන යන බවට ස්පාඤ්ඤ දූෂණ අපචාර මැඩලීමේ නිලධාරීහු සැක කරති. ඒ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ද පරීක්ෂණයක් පෙරට යමින් ඇත.

''නීතිය ඉදිරියේ සියලුදෙනා එක සමාන'' බව පවසන ස්පාඤ්ඤ ආණ්ඩුව කියා සිටින්නේ පරීක්ෂණවලට ''කිසිදු මැදිහත්වීමක්'' සිදු නොකරන බවය.

හුවන් කාර්ලෝස් ගේ වගතුග

1938 වසරේ ඉතාලියේ රෝම නගරයේ දී උපත ලබා ඇත.

1975 නොවැම්බර් මාසයේ 22 දින ස්පාඤ්ඤයේ සිහසුනට අනුප්‍රාප්ත විය. එය සිදුවූයේ ස්පාඤ්ඤය තුළ ෆැසිස්ට් පාලනයක් ගෙනගිය ඒකාධිපති ජනරාල් ෆ්‍රැන්කෝ ගේ අභාවයෙන් දින දෙකකට පසුවය.

ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් තුළ රට ප්‍රජාතන්ත්‍රවාදය කරා මෙහෙයවීම සම්බන්ධයෙන් හුවන් කාර්ලෝස් පුළුල් මට්ටමින් අගය කිරීම්වලට ලක්ව ඇත.

එහෙත් ඔහුගේ වසර තිස් නවයක රාජ්‍යත්වය නිමවූයේ බොහෝ විවේචන එල්ලවෙමින් පැවති පරිසරයක් තුළය.

හුවන් කාර්ලෝස් රජතුමා 2014 ජූනි 18 වෙනිදා සිය පුතු ෆිලිපේ සිහසුනට අනුප්‍රාප්ත කරමින් සිය කිරුළ ඔහු හිසෙහි පැළඳවීය.

කියවන්න;