කැටලෝනියාවේ ආණ්ඩු බලය ස්පාඤ්ඤය යටතට

Catalans wave flags as they celebrate parliament declaring independence

ඡායාරූප මූලාශ්‍රය, AFP

ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් කැටලෝනියාවේ ස්වයං පාලන බලතල ඉවත් කර එහි ආණ්ඩු බලය සියතට ගනු ලැබීය.

මැඩ්රිඩ් පාලනය විසින් සෙනසුරාදා (ඔක් 28) උදෑසන එවැනි තීන්දුවක් ගනු ලැබුවේ කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා සිකුරාදා කැටලන් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වීමෙන් අනතුරුවය.

නිල නිවේදනයක් නිකුත් කරමින් කැටලන් නායකයන් ධුරවලින් ඉවත් කර ඇති අතර කැටලෝනියාවේ පාලනය ස්පාඤ්ඤයේ නියෝජ්‍ය අගමැතිවරිය යටතට පත් කරනු ලැබ ඇත.

ඊට පෙර, කැටලෝනියාවේ වඩාත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් පියවර ගනු ලැබීය.

කැටලන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද බව ස්පාඤ්ඤ අගමැති මරියානෝ රයෝයි සිකුරාදා නිවේදනය කළේය.

කැටලෝනියාවේ නායකයන් ප්‍රාදේශීය පාලන බලයෙන් ඉවත් කළ අගමැතිවරයා විසින් එම කලාපය තුළ හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

කැටලෝනියාව

කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් නිදහස් වීම සහ ඊට එරෙහිව සිකුරාදා රාත්‍රිය පුරා උද්ඝෝෂණ පැවැත්විණි.

සෙනසුරාදා තවත් උද්ඝෝෂණ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කැටලෝනියාව සම්බන්ධයෙන් මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් මතු වූයේ ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහසක් රාජ්‍යයක් බවට පත්විය යුතුද, නැද්ද යන්න පිළිබඳ මහජන මතය පිරික්සීම සඳහා කැටලන් ප්‍රාදේශීය පාර්ලිමේන්තුව විසින් ජනමත විචාරණයක් කැඳවනු ලැබීමත් සමගය.

line
line

ව්‍යවස්ථා අධිකරණය විසින් තීන්දු කරනු ලැබ තිබුණේ ජනමත විචාරණය ආණ්ඩුක්‍රම නීතියට පටහැණි බවය.

එමෙන්ම ජනමත විචාරණය නොපවත්වන මෙන් ස්පාඤ්ඤ ආණ්ඩුව නියෝග කර තිබිණි.

ජනමත විචාරණය සඳහා 43% ඡන්දය ප්‍රකාශ කර තිබු බව කී කැටලන් ආණ්ඩුව ඒ අතරින් 90% ක් සිය පළාතට නිදහස ලබාදීමට පක්ෂව ඡන්දය භාවිත කර තිබූ බව පැවසීය.

ජනමත විචාරණය ආණ්ඩුක්‍රම නීතියට පටහැණි බවට ලබා දුන් අධිකරණ තීන්දුව හමුවේ සෙසු පිරිස ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

සබැඳි යොමු: