කොරෝනා වයිරසය: එමිරේට්ස් ගුවන් සේවය කෝවිඩ්-19 වෛද්‍ය හා අවමගුල් වියදම් පියවීමට ඉදිරිපත්වෙයි

කෝවිඩ්-19 රක්ෂණාවරණයක් හඳුන්වා දුන් ලොව පළමු ගුවන් සේවය බවට එමිරේට්ස් ගුවන් සේවය පත්ව තිබේ. එය මෙම පියවරට එළැඹුණේ මගීන් ගුවන් ගමන් සඳහා යළි කැඳවා ගැනීමට උත්සාහ දරමින් සිටින අතරවාරයේය.

ගුවන් ගමන අතරේදී කොරෝනාවෛරසය ආසාදනය වී නම් අදාළ මගීන්ගේ වෛද්‍ය පහසුකම්, හෝටල්වල නිරෝධායනය පමණක් නොව ඔවුන්ගේ අවමඟුල් සඳහා යන වියදම මෙම රක්ෂණයෙන් ආවරණය කෙරේ.

මෙම නිවේදනය කෙරුණේ ලොව පුරා ගුවන් සේවා සමාගම් කොරෝනාවෛරස වසංගතය මැද ගනු ලබන පියවර හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව සිටින අවස්ථාවකය.

ලොව විශාලතම දිගු දුර ගුවන් සේවය වන එමිරේට්ස් මෙම මස මුලදී බීබීසී සමග පැවසුවේ 9,000 ක් තරම් වූ රැකියා ප්‍රමාණයක් කපා හැරීමට තමන් සූදානම් බවකි.

"ක්‍රම ක්‍රමයෙන් ලොවපුරා දේශ සීමා විවෘත වෙද්දී පුද්ගලයින් ගුවන් ගමන්වල යෙදීමේ අපේක්ෂාවෙන් සිටින බව අප දන්නවා. නමුත් ගුවන් ගමන් අතරේදී අනපේක්ෂිත දෙයක් සිදුවුණොත් ඒ සම්බන්ධයෙන් නම්‍යශීලී බවක් හා සහතික කිරීමක් ඔවුන් බලාපොරොත්තුවෙනවා," යැයි එමිරේට්ස් සමූහයේ සභාපති ෂෙයික් බින් සයීඩ් අල් මක්ටුම් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

ගුවන් මගියකු සිය ගමන ආරම්භ කළ තැන සිට දින 31 ක් දක්වා වලංගුවන මෙම රක්ෂණය මෙවක් පටන් වලංගු වන අතර ඔක්තෝබර් මස අවසානය තෙක් එය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ගමන් කරන පන්තිය නොසළකා සෑම ගුවන් මගියකුට ම මෙම රක්ෂණාවරණය නොමිලේ පිරිනැමෙන අතර ලියාපදිංචි වීමක් ඊට අවශ්‍ය නොවේ.

යුරෝ 150,000 (ඇමෙරිකානු ඩොලර් 176, 500 ක්) දක්වාවූ වෛද්‍ය වියදම් මෙයින් ආවරණය කෙරෙන බව ඩුබායි මූලස්ථානය කරගත් ගුවන් සමාගම සඳහන් කළේය.

නිරෝධායනය සඳහා හෝටලයක ගත කරන සති දෙකක කාලයක් සඳහා දිනකට යුරෝ 100ක මුදලක් ද ඉන් ආවරණය කෙරේ.

කෝවිඩ්-19 හේතුවෙන් මගියකු මරණයට පත් වුවහොත් එම අවමංගල්‍යය සඳහා යන වියදම ලෙස යුරෝ 1,500ක් සැපයේ.

ගුවන් ගමන්වලට ඇති බිය

දේශසීමා වසා දැමීම මෙන්ම ගුවන් යානාවලදී හෝ ගුවන් ගමන්වලදී කොරෝනාවෛරසය ආසාදනයට ලක්වීමේ ඉඩකඩ පිළිබඳ මිනිසුන් සැලකිල්ල යොමු කිරීමේ තත්ත්වය මත මෙම වසරේ ගුවන් ගමන් ඇදවැටීමකට ලක්විණි.

ජපානයේ ඔලිම්පික් තරගාවලිය, කාර්මික සමුළු හා සංගීත උත්සව ආදී ප්‍රධාන පෙළේ අවස්ථා අවලංගු කිරීම හෝ කල්දැමීමේ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් සඳහා ඇති ඉල්ලුමට විශාල බලපෑමක් එල්ල කළේය.

2020 වසර මූල්‍යමය වශයෙන් "නරක" අවධියක් ලෙස සටහන් වනු ඇති බවට ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) පසුගිය මාසයේදී අනතුරු ඇඟවීය.

කොරෝනාවෛරසය හේතුවෙන් සංචාර පහළ යාම ගුවන් සමාගම්වලට ඩොලර් බිලියන 84ට වැඩි අලාභයක් ගෙනෙනු ඇති අතර 2019 වසර හා සැසඳීමේදී 50% කින් ආදායම් පහළ වැටෙනු ඇතැයි එම සංගමය පෙන්වා දී තිබිණි.

ගුවන් ගමන්වලට ඇති ඉල්ලුම බිඳවැටීම හේතුවෙන් ලොව පුරා ගුවන් සමාගම් සිය ගුවන් ගමන් කපා හැරීම හා සේවකයින් රැකියාවලින් ඉවත් කිරීම හෝ නිවාඩු ගැන්වීමකට දැනටමත් යොමු කෙරී තිබේ.

වසංගතය හේතුවෙන් සිය සමාගමේ රැකියා 9,000ක් කපා හැරීමට සූදානම් බව එමිරේට්ස් සභාපති ටීම් ක්ලාක් බීබීසී වෙත දැනුම් දී තවමත් සති තුනක් ඉකුත්ව ගොස් නැත.

සිය කාර්ය මණ්ඩලයෙන් 10න් එකකගේ රැකියා දැනටමත් කපා හැර ඇති බව කී ඔහු, "සමහරවිට තවත් කිහිප දෙනෙකුට යන්නට ඉඩහරින්න සිදුවේවි. එය 15% ක් දක්වා වෙන්න පුළුවන්," යැයි සඳහන් කළේය.

මෙම අර්බුදයට පෙර එමිරේට්ස් ගුවන් සමාගමේ සේවක මණ්ඩලය 60,000 කින් සමන්විත විය.

සිය ආයතන කොපමණ රැකියා ප්‍රමාණයක් කපා හරින්නේ දැයි මැදපෙරදිග කේන්ද්‍ර කරගත් මෙම ගුවන් සමාගම ප්‍රකාශයට පත්කළ පළමු අවස්ථාව එය වේ.

මෙම තොරතුරු ද දැනගන්න: