කොරෝනා වෛරසය: ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කෙරේ

කොරෝනාවෛරසය හේතුවෙන් ලොව පුරා දහස් ගණන් ගුවන් ගමන් අවලංගුවෙමින් පවතී.

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම, රයන් එයා සහ ඊසි ජෙට් යන සමාගම් ඉතාලියට ඇතුළු තවත් ගුවන් ගමන් රාශියක් අවලංගු කර තිබේ.

ඉදිරි දිනවලදී "ගලවා ගැනීමේ ගුවන් ගමන්" ක්‍රියාත්මක කරන බව එම සමාගම් පවසති.

නෝර්වීජියානු එයාර් සමාගම පවසා ඇත්තේ ඉදිරි මාස තුන ඇතුළත ගුවන් ගමන් 3,000 ක් පමණ අවලංගු කරන බවය.

එමෙන්ම, සිය ශ්‍රම බලකායෙන් "සැලකිය යුතු කොටසක්" තාවකාලිකව ඉවත් කිරීමට ද එම සමාගම සැලසුම් කරමින් සිටියි.

"ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම භූමියේ සහ කාර්යාලවල සේවකයින් තාවකාලික ඉවත් කිරීමක් සම්බන්ධයෙන් අපි වෘත්තීය සමිති සමඟ විධිමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා," යනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී ජේකොබ් ෂ්රාම් පැවසීය.

ඉතාලියට හා චීනයට සංචාර සීමා කිරීම හේතුවෙන් සමහර ගුවන් සේවා මුළුමනින්ම නවතා දැමීමට සිදුව ඇති අතර, සංචාරකයන් ඔවුන්ගේ සැලසුම් අත්හිටුවීම සහ ගමන් සීමා කරන ලෙස විවිධ සමාගම් සිය කාර්ය මණ්ඩලවලට උපදෙස් දීම ගුවන් ගමන් අඩු වීමට හේතු වී තිබේ.

හිස් ගුවන් යානා

ගුවන් යානා ගුවන්ගත කිරීම සහ ගොඩබෑම සඳහා ගුවන් තොටුපොළවලින් වෙන් කර ඇති වෙලාව සහ ස්ථානය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සමහර ගුවන් සමාගම් හිස් ගුවන් යානා පවා පියාසර කරවීමට ක්‍රියා කර තිබේ.

කෙසේ වෙතත්, යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේන් නිවේදනය කර ඇත්තේ ගුවන් ගමන් ක්‍රියාත්මක නොවුනද ගුවන් සමාගම්වලට ඔවුන්ට වෙන්වූ වෙලාව සහ ස්ථානය තබා ගැනීමට ඉඩ දෙන බවය.

"මෙය තාවකාලික පියවරක්. මෙම තාවකාලික පියවර කර්මාන්තයට උපකාරී වෙනවා වගේම එය අපගේ පරිසරයටත් යහපත්," ඇය පැවසුවාය.

"එය ගුවන් සේවා කර්මාන්තයට සහ විශේෂයෙන් කුඩා ගුවන් සමාගම්වලට ඇති පීඩනය අවම කරනවා. ඒ වගේම හිස්ව යන ගුවන් යානා අඩු වීමෙන් විමෝචනය ද අඩු වෙනවා."

ගුවන් සමාගම් රැකගැනීමේ උත්සාහයක

අඟහරුවාදා කොරියානු ගුවන් සමාගම අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ කොරෝනාවෛරසය පැතිරීමත් සමග එම සමාගමේ පැවැත්මට තර්ජන එල්ල වී ඇති බවය.

මෙම අර්බුදකාරී තත්ත්වය කොපමණ කලක් පවතිනු ඇත්දැයි ගුවන් සමාගමට නිශ්චිත ලෙස කිව නොහැකි යැයි කොරියානු ගුවන් සමාගමේ සභාපති වූ කී-හොං සේවකයින්ට දන්වා ඇත.

"මෙම තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනහොත්, සමාගමේ පැවැත්ම සහතික කළ නොහැකියි" යනුවෙන් ඔහු පැවසූ බව රොයිටර් පුවත් සේවය සඳහන් කර තිබිණි.

කොරෝනාවෛරසය හේතුවෙන් මගීන්ගේ ගුවන් ගමන් ඉල්ලුම පහත වැටී ඇති බැවින් ජාත්‍යන්තර ගුවන් ගමන් 25% කින් පමණ අඩු කරන බව ඕස්ට්‍රේලියාවේ ක්වාන්ටස් ගුවන් සමාගම පවසයි.

ඉදිරි මාස හය තුළ ක්වන්ටාස් සහ ජෙට්ස්ටාර් ගුවන් ගමන් අවම මට්ටමක පවතිනු ඇත.

යුරෝපීය ගුවන්තොටුපොළ නියෝජනය කරන ඒසීඅයි යුරෝප් සමාගම පැවසුවේ කොරෝනාවෛරසය හේතුවෙන් ජනවාරි සහ මාර්තු අතර ගුවන් මගීන් සංඛ්‍යාව 14% කින් පහත වැටෙනු ඇතැයි ඔවුන්ගේ මූලික තක්සේරුව වූ බවය.

"කොවිඩ් -19 වසංගතය අපගේ කර්මාන්තයට පෙර නොවූ විරූ කම්පනයක් බවට පත්වෙමින් තිබෙනවා," යැයි අධ්‍යක්ෂ ජනරාල් Olivier Jankovec පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇතැයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණි.

මාර්තු 10 වෙනි දින සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ එසේ ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම කාලය ඇතුළත සෞදි අරාබියේ ජෙඩා නුවර දක්වා වූ ශ්‍රී ලංකන් ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබේ.

කොරෝනාවෛරසය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විණ.

මේ තොරතුරුද කියවන්න: