ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෝ සහ ලොව පුරා තත්ත්වය
'වසා දැමුණු' ඉතාලිය
චීනයෙන් පිටත කොරෝනාවෛරසයේ බලපෑම වැඩිපුරම එල්ල වූ රට ඉතාලිය වන අතර, මේ වන විට මරණ 631 ක් වාර්තා වී තිබේ.
වෛරසය පැතිරීම නැවැත්වීමට බලධාරීන් දැඩි උත්සහයක යෙදී සිටිති. රට පුරා සංචාරය සීමා කර, මහජන රැස්වීම් ද තහනම් කර තිබේ.
එමෙන්ම, සියලුදෙනාට සිය නිවෙස් වලට වී සිටින ලෙසට උපදෙස් ලබා දී තිබෙන අතර, අත්‍යවශ්‍ය සංචාර සඳහා විශේෂ අවසර පත්‍රයක් ලබා ගත යුතු යැයි එරට රජය දැනුම් දුන්නේය.
"අපට තවදුරටත් කාලය නැහැ," ඉතාලි අග්‍රාමාත්‍යවරයා පැවසීය.
"වෛරසය දැඩි ලෙස පැතිරී යනවා ... ඒ වගේම මරණ. සම්පූර්ණ ඉතාලියම ආරක්‍ෂිත කලාපයක් බවට පත් කර තිබෙනවා," ඔහු තවදුරටත් පැවසීය.
ඉතාලියේ දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන් සහ සිය ඥාතීන් ඉතාලියේ රැකියාවේ නිරත වී සිටින කීපදෙනෙක් ඔවුන්ගේ අත්දැකීම් බීබීසී සිංහල සේවයට විස්තර කළහ.
"මගේ මහත්තයා තව සතියකින් නිවාඩුවට ලංකාවට එන්න හිටියේ. මගේ දරුවෝ දෙන්නා තාත්තා දකින්න බොහොම ආසාවෙන් හිටියේ. නමුත් මේ ඇති වෙලා තිබෙන තත්වයත් එක්ක එයාට අලුත් අවුරුද්ද සමරන්න එන්න පුළුවන් වෙයි ද දන්නේ නැහැ," ජාඇල පදිංචි ශ්‍රීමා ප්‍රනාන්දු පැවසීය.
"දරුවන්ට නොපෙන්නුවට මම මහත්තයා ගැන සෑහෙන බයකින් ඉන්නේ. ඒ වගේම පිටරට ඉන්න අය ලංකාවට එන එක ගැන මෙහෙ මිනිස්සු දරණ සමහර මත නිසා සෑහෙන කලකිරිලා ඉන්නේ," ඇය තවදුරටත් පැවසුවාය.
මේ අතර, ඉතාලියේ දිවි ගෙවන දිල්රුක්ෂි නිමේෂිකා පැවසුවේ නොයෙක් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලවල පළ වන ආකාරයට ඔවුන්ට ආහාර හිඟයක් නොමැති බවය.
"පාසල් වසා දමලා, උත්සව අවලංගු කරලා තිබුණට අවන්හල්, කඩ වසා දමලා නැහැ. නමුත් ඔවුන්ට සවස 5 හෝ 6 වෙද්දී වහන්න කියලා රජයෙන් නියම කර තිබෙනවා. විවිධ කටකතා, බොරු ප්‍රචාර යනවා අපිට කන්න බොන්න නැහැ කියලා. නමුත් එහෙම තත්ත්වයක් මෙහෙ නැහැ," ඇය කියා සිටියාය.
"අපි හැමෝම ඉන්නේ බයෙන්, නමුත් ලෝකයේ අනික් අය වගේම අපිත් කොහොමහරි මේ දෙයින් පරිස්සම් වෙන්න බලන්නේ. අනවශ්‍ය දේවල් ප්‍රචාරය කරලා ලංකාවේ ඉන්න අපේ ඥාතීන් බය කරන්න එපා කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා."
ඉතාලියේ රැකියාවක නියුතු සුගත් පලිහක්කාර පැවසුවේ, "මේ වෙලාවේ තවත් බොහෝ දෙනෙක් කලබලේ ශ්‍රී ලංකාවට යන්න උත්සහ කරනවා," යනුවෙනි.
"මේ වෙලාවේ කරන්න ඕනෙ ඉතාලි රජය හෝ අදාළ බලධාරීන් දෙන උපදෙස් පිළිපදින එක. කලබල වෙලා ලංකාවට යන එක කරන්න බැහැ. නැත්නම් අනවශ්‍ය කලබල ඇතිවෙනවා," ඔහු තවදුරටත් පැවසීය.
මුහුණු ආවරණ පැලඳි හෝලි උත්සව
ඉන්දියාවේ හෝලි උත්සව සැමරුම්වලට බාධා එල්ල කිරීමට කොරෝනාවෛරසයට නොහැකි වී ඇති සෙයකි.
චෙන්නායි නගරයේ පැවති හෝලි උත්සවයට මුහුණු ආවරණ පැලඳගත් පුද්ගලයන් සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.
ඉරාන-පාකිස්තාන දේශ සීමාවේ බැතිමතුන් 3,000 ක් පමණ නිරෝධායනයට
කොරෝනාවෛරස් බිය හේතුවෙන් පාකිස්තානයේ ඉරාන දේශසීමාවේ පසුගිය සති දෙකක කාලය තුළ 3,000 ක පමණ පිරිසක් "නිරෝධායනය" කිරීමට පියවර ගෙන ඇත.
අපිරිසිදු තත්වයන් යටතේ ඔවුන් රඳවා සිටින බව පැමිණිලි කරමින් සමහරු විරෝධතාවක් ද පවත්වා තිබිණි.
නිරෝධායනය කළ පිරිස අතරින් බොහෝ දෙනෙකු ඉරානයේ සිට පා ගමනින් පැමිණි බැතිමතුන්ය.
ඉරානය සහ ඉරාකයට යන වන්දනාකරුවන් සඳහා ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යන අමීර් අලි සමඟ බීබීසී උර්දු සේවයේ අසාම් ඛාන් දුරකථනයෙන් සම්බන්ධ විය.
අමීර් අලි කියා සිටියේ බැතිමතුන් ටෆ්තාන් හි කඳවුරක රඳවා සිටින නමුත් එහි නිවාස සහ ආහාර සඳහා නිසි විධිවිධාන නොමැති බවය.
චීන නායකයා වූහාන් සිට සැනසිලිදායක පණිවිඩයක් යවයි
චීන ජනාධිපති ෂී ජින් පිං පසුගිය වසරේ අග භාගයේ දී වෛරසය පැතිරීම ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන වූහාන්හි අඟහරුවාදා (මාර්තු 10) සංචාරයක නිරත විණි.
ප්‍රදේශයේ රෝහල් වෙත ගිය ෂී ජින් පිං සෞඛ්‍ය නිලධාරීන්ට සුබ පැතුවේය.
වූහාන් වෙත යෑමෙන් චීන නායකයා බලාපොරොත්තු වූයේ චීනයේ තත්වය පාලනය කර ඇතැයි ලොවට පණිවිඩයක් දීමට බව විශ්ලේෂකයෝ පවසති.
අඟහරුවාදා දින (මාර්තු 10) චීනයෙන් අවම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා විය.
මේ වන විට චීනයේ ප්‍රධාන භූමියෙන් රෝගීන් 80,754 ක් වාර්තා වී ඇති අතර 3,136 දෙනෙකු මියගොස් තිබේ.
වෛරසය පැතිරී යෑම ආරම්භ වූ දා චීන නායකයා වූහාන්වල සිදු කළ පළමු සංචාරය මෙයයි.
චෙක් ජනරජයේ පාසල් වසා දැමේ
දින නියමයක් නොමැතිව පාසල් වසා දමන බව චෙක් ජනරජය නිවේදනය කර ඇති අතර 100 කට වැඩි පිරිසකට සියලු උත්සව තහනම් කර තිබේ.
චෙක් ජනරජය තුළ මේ වන විට කොරෝනාවෛරස ආසාදිතයන් 40ක් වාර්තා වී තිබේ.
සිනමා, නාට්‍ය ශාලා, ක්‍රීඩා තරග සහ ආගමික උත්සව තහනම අඟහරුවාදා (මාර්තු 10) සිට බලපැවැත්වෙන බව එරට රජය පවසයි.
ඉරානයේ දිනක් ඇතුළත සිදු වූ වැඩිම මරණ ගණන
කොරෝනාවෛරසයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ රටක් වන ඉරානයේ මරණ 54 ක් වාර්තා වී ඇති අතර, එය පැය 24ක කාලයක් තුළ වාර්තා වූ ඉහළම සංඛ්‍යාවය.
ඉරානයේ මෙතෙක් මියගිය සංඛ්‍යාව 291 දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් පුද්ගලයන් 881කට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග එරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 8,042 දක්වා ඉහළ ගොස් තිබේ.
ඔස්ට්‍රියාවේ ගෘහස්ථ සහ එළිමහන් උත්සව තහනම්
පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් සහභාගි වන ගෘහස්ථ උත්සව සහ 500කට වැඩි පිරිසක් සහභාගි වන එළිමහන් උත්සව තහනම් කිරීමට ඔස්ට්‍රියානු රජය පියවර ගෙන තිබේ.
ඉතාලියේ සිට ඔස්ට්‍රියාවට පුද්ගලයින් ඇතුළු වීම ද තහනම කර ඇත.
"වෛද්‍යවරුන්ගේ සහතිකයක් නොමැති නම් ඉතාලියේ සිට ඔස්ට්‍රියාවට එන අයට අපි ඇතුල්වීමේ තහනමක් පනවා තිබෙනවා,' යැයි ඔස්ට්‍රියානු අමාත්‍ය සෙබස්තියන් කර්ස් පැවසීය.
සති දෙකක නිවාස නිරෝධායන ක්‍රියාවලියකට එකඟ වන්නේ නම් ඉතාලියේ සිටින ඔස්ට්‍රියානුවන් නැවත සිය රටට පැමිණීමට අවසර දී තිබේ.
විශ්ව විද්‍යාල දේශන නැවැත්වීමට සහ සේවකයින්ට නිවසේ සිට රාජකාරියේ නිරත වීමට ඉඩ ලබා දෙන ලෙස රජය සමාගම්වලට දැනුම් දී තිබේ.
පෝලන්තයේ සියලු විශාල උත්සව අවලංගු කරයි
කොරෝනාවෛරසය පැතිරී යෑම හේතුවෙන් විශාල උත්සව සියල්ල අවලංගු කිරීමට පෝලන්ත රජය තීරණය කර ඇති බව අගමැති Mateusz Morawiecki පවසයි.
එරට කොරෝනාවෛරස ආසාදිතයින් 17 දෙනෙකු සිටින බව පෝලන්ත සෞඛ්‍ය නිලධාරීන් තහවුරු කර ඇති අතර සමහර රෝගීහු බරපතල තත්ත්වයේ පසුවෙති.
දකුණු කොරියාව සති දෙකකට පසු අවම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරයි
දකුණු කොරියාවේ සති දෙකක කාලයකින් පසු අවම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
පසුගිය පැය 24 තුළ වාර්තා වී ඇත්තේ රෝගීන් 131ක් පමණි.
වෛරසය පැතිරුණු ආගමික නිකායේ අනුගාමිකයන් 210,000 ක් සෞඛ්‍ය බලධාරීන් පරීක්ෂාවට ලක් කිරීමත් සමඟ දෛනිකව වාර්තා වුණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව අවම වන ලකුණු පෙන්නුම් කර තිබේ.
කෙසේනමුත්, රට පුරා නව ආසාදන තත්වයන් හටගැනීමත් සමග සෞඛ්‍ය සේවා තවමත් දැඩි අවධානයෙන් සිටින බව බලධාරීහු පවසති.
සෝල් අගනුවර පිහිටි දුරකතන ඇමතුම් මධ්‍යස්ථානයක සේවකයින් 38 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම ගොඩනැගිල්ලේ තවත් පුද්ගලයින් 207 දෙනෙකු තවමත් පරීක්ෂාවට ලක් කර නොමැති අතර, ආසාදිතයන් සංඛ්‍යාව පසුව ඉහළ යෑමට ඉඩ තිබේ.
දකුණු කොරියාවේ රෝගීන් 7,513ක් වාර්තා වී තිබේ.