ඉන්දු-චීන දේශසීමාවේ ගැටුමක්: ඉන්දීය භටයන් තිදෙනෙක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මතභේදයට තුඩු දී ඇති කාශ්මීර කලාපයේ ලදාක්හි චීන හමුදා සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය භටයන් තිදෙනෙකු මරණයට පත්ව ඇත.
පසුගිය සති කීපය තිස්සේ එම කලාපයෙහි රඳවා සිටින දෙරටේ දේශසීමාරක්ෂක භටයන් අතර ගැටුම්කාරී තත්ත්වයක් මෝදුවෙමින් පැවතිණි.
"උද්ගතව පවතින ගැටුම්කාරී වාතාවරණය සමනය කර ගැනීම සඳහා චීන සහ ඉන්දියානු හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් සාකච්ඡා පවත්වමින් සිටින" බව ඉන්දීය හමුදාව ප්‍රකාශ කරන නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත්කොට නැත.
පවතින ව්‍යාකූල තත්ත්වය තවත් දරුණු අතට හැරෙන මට්ටමින් හෝ ඒකපාර්ශ්වීය මට්ටමින් පියවර නොගන්නා ලෙස චීනය ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මේ අතර AFP මාධ්‍ය ජාලය වාර්තා කරන්නේ දේශසීමාව ඔස්සේ පැමිණ සිය භටයන්ට පහර දීම සම්බධයෙන් චීනය ඉන්දියාවට චෝදනා කරන බවය.

ඡායාරූප මූලාශ්‍රය, Press Information Bureau
ආසියාවේ බලවතුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක දී පළමුවරට මෙවැනි මරණ වාර්තා වූයේ දශක කීපයකට පසුවයි.
ඉන්දියාව සහ චීනය අතර පළමු සංග්‍රාමය 1962 වසරේ වාර්තා විය. එම යුද්ද්ධයේ දී ඉන්දියාවට බරපතල හානි සිදු වූ අතර එය නිම වුණේ ඔවුන්ගේ පරාජයෙනි.
තම භූමියෙන් කිලෝමීටර් 38,000ක් අල්ලාගෙන සිටින බවට ඉන්දියාව චීනයට චෝදනා කරයි. එම දේශසීමා අර්බුදය නිරාකරණය කර ගැනීමට පැවති සාකච්ඡා වට කීපයක්ම අවසන් වුණේ අසාර්ථක මට්ටමිනි.

දේශසීමාවේ 'සීකිම්' කලාපයේ දී චීන සහ ඉන්දියානු දේශසීමාරක්ෂක භටයන් ගුටිබැට හුවමාරු කර ගැනීමක් ද පසුගිය දා වාර්තා විය.
මතභේදයට තුඩු දී ඇති නිම්නයක් ඔස්සේ චීනය දේශසීමා මාර්ගයක් ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම 2017 වසරේ දී දෙපාර්ශ්වය අතර ගැටුම් ඇතිවීමට තවත් හේතුවක් විය.
ඉන්දියාව සහ චීනය ගැන තවත් පුවත්:

























