'විකල්පයක් තිබුණේ නැහැ': වගකීම් අත්හැරීම ගැන හැරී කුමරු පළමු වරට පළ කළ අදහස්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"වෙනත් විකල්පයක් නොතිබූ හෙයින්" බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බව සසෙක්ස්හි ආදිපාද හැරී කුමරු පවසයි.
ඉරිදා (ජන: 19) පස්වරුවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් හැරී කුමරු පැවසුවේ, මහජන මුදල් භාවිතයෙන් තොරව අඛණ්ඩව රැජිණට සේවය කිරීමට තමන් සහ මේගන් කුමරිය බලාපොරොත්තුවෙන් සිටි බවය.
"අවසනාවන්ත ලෙස ඒකට ඉඩක් ලැබුණේ නැහැ," ඔහු පැවසීය.
රජ පවුලේ ජ්‍යෙෂ්ඨ රාජකාරිවලින් ඉවත් වන බවට රාජකීය යුවළ ප්‍රකාශ කිරීමෙන් පසුව හැරී කුමරු කළ පළමු කතාව මෙය විය.
එහිදී හැරී කුමරු පැවසුවේ, තමන් සහ මේගන් "රටින් පිටව නොයන" බව පැහැදිලිව කිය යුතු බවය.
"එක්සත් රාජධානිය කියන්නේ මගේ නිවහන. එතන මම ආදරය කළ ස්ථානයක්. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ," ඔහු පැවසීය.
මේ මස මුලදී, හැරී කුමරු සහ මේගන් කුමරිය පැවසුවේ, රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වී මූල්‍යමය වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමට අදහස් කර සිටින බවය.
හැරී කුමරු සම නිර්මාතෘත්වය දරන දක්ෂිණ අප්‍රිකානු කලාපයේ එච්අයිවී ආසාදිත දරුවන්ට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක Sentebale නමැති පුණ්‍යායතනය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ අරමුණින් පැවති උත්සවයකදී සිය කතාව ආරම්භ කරමින් ඔහු පැවසුවේ, "පසුගිය සති කිහිපය තුළ ඔබට අසන්නට හා කියවන්නට ලැබුණු දේ ගැන මට සිතාගත හැකියි," යනුවෙනි.
"ඒ නිසා ඔබට මගෙන් ම සත්‍යය ඇසීමට ඉඩ සලසන්න මට අවශ්‍යයි. ඒ, රජ කුමරෙකු හෝ ආදිපාදවරයෙකු ලෙස නොවෙයි, හැරී හැටියටයි."
සිය කතාව අතරතුර හැරී කුමරු පැවසුවේ, තමන් නිරන්තරයෙන් "මගේ සේනාධිනායිකාව මෙන්ම මගේ මිත්තණිය වන රැජිණට උපරිම වශයෙන් ගරු කරන" බවය.
"අපි බලාපොරොත්තු වුණේ, මහජන මුදල් භාවිත නොකර තවදුරටත් රැජිණට, පොදුරාජ්‍ය මණ්ඩලයට සහ මගේ හමුදා අංශවලට සේවය කිරීමට. අවසනාවන්ත ලෙස ඒක කරන්න බැරි වුණා."
"මම කවුද කියන එකත් මගේ කැපවීම කෙතරම් ද කියන එකත් ගැන දැනගෙන මම ඒක පිළිගත්තා."
රැජිණ, ජ්‍යෙෂ්ඨ රාජකීයයන් සහ හැරී - මේගන් යුවළ අතර සෙනසුරාදා (ජන: 18) අවසන් වූ සාකච්ඡාවක කොටසක් ලෙස හැරී සහ මේගන් තවදුරටත් රාජාණ්ඩුව නියෝජනය නොකරන බවට එකඟතාවක් ඇති විය.
එළඹෙන වසන්ත සමයේ සිට ඔවුන් දෙදෙනා රාජකීය ගෞරව නාමයන් (His Royal Highness or Her Royal Highness) භාවිත කිරීම නතර කරනු ඇති අතර නිල හමුදා පත්වීම් ඇතුළු රාජකීය රාජකාරිවලින් ද ඉවත් වනු ඇත.
කෙසේ වෙතත්, බකිංහැම් මාලිගය නිකුත් කළ ප්‍රකාශයෙන් කියැවුණේ, ඔවුන් දෙදෙනා තවදුරටත් ඔවුන්ගේ පෞද්ගලික අනුග්‍රහයන් සහ සම්බන්ධතා පවත්වාගෙන යන බවය.
'අභියෝගාත්මක වසර කිහිපයක්'
හැරී සහ මේගන් යුවළගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පළ කර තිබූ හැරී කුමරුගේ කතාවේ, හැරී කුමරු පවසා තිබුණේ, තමන් සහ මේගන් විවාහ වීමෙන් පසු "අපි සතුටට පත් වුණා, අපේක්ෂාසහගත වුණා ඒ වගේම අපි මෙහෙට ආවේ යම් සේවයක් කරන්න."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
"ඒ නිසා මේ තීරණය ගැන මට ලොකු කනගාටුවක් තියෙනවා."
"රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වෙන්න මම ගත්ත තීරණය සැහැල්ලු එකක් වුණේ නැහැ," ඔහු පැවසීය.
"අභියෝගාත්මක වසර ගණනකට පස්සේ මාස ගණනක් සාකච්ඡා කළා මේ ගැන. මම දන්නවා මම හැම අවස්ථාවක ම නිවැරදි නැහැ. ඒත් වෙනත් විකල්පයක් නොතිබුණ නිසා මේක සිදුවුණා."
හැරී - මේගන් යුවළ පැවසුවේ, ඔවුන්ගේ කාලය එක්සත් රාජධානිය සහ කැනඩාව තුළ ගත කිරීමට බෙදා ගන්නා බවය.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
මේ වන විට මේගන් ආදිපාදවරිය සිය පුතු ආචී සමග කැනඩාවට ගොස් සිටී.









