බ්‍රෙක්සිට්: සිදුවන්නට යන්නේ කුමක්ද?

bbc

(බීබීසී හි, මැතිවරණ හා දේශපාලන ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක පීටර් බාන්ස් විසිනි)

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට, සැප්තැම්බර් 9 වෙනිදා ගන්නා ලද පියවර නීතියට පටහැනි බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය (සැප්තැම්බර් 24) තීන්දු කිරීමත් සමග ඉදිරි දිනවලදී යළි පාර්ලිමේන්තුව වෙත පැමිණීමට මන්ත්‍රීවරුන්ට හැකියාව ලැබේ.

ඔක්තෝබර් 31 වෙනිදා එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම (no-deal Brexit) නවතන නීතියක් සම්මත කරගෙන තිබේ. අදාළ දිනය වන විට බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර එකඟතාවක් නොවන්නේ නම් සහ එසේ එකඟතාවකින් තොරව ඉවත්ව යාමට පක්ෂව මන්ත්‍රීවරුන්ගේ ඡන්දය නොලැබෙන්නේ නම්, වෙන්ව යාම තවදුරටත් පමා කිරීම සඳහා යුරෝපා සංගමයෙන් විමසීමට බ්‍රිතාන්‍ය අගමැතිවරයා නෛතිකව බැදී සිටී.

ඒ අනුව මතුවී ඇති තත්ත්වය හමුවේ කිහිප ආකාරයක සිදුවීම් අපේක්ෂා කළ හැක.

බ්‍රෙක්සිට්: සිදුවන්නට යන්නේ කුමක්ද?

අලුත් එකඟතාවකට යාම

අගමැති බොරිස් ජොන්සන් පවසනුයේ අලුත් එකඟතාවක් සඳහා යුරෝපා සංගමය සමග සාකච්ඡා කිරීමට තමන් උත්සාහ දරන බවකි. එය එසේ වේනම් හා ඔක්තෝබර් 31 වෙනිදාට පෙර ඊට මන්ත්‍රීවරුන්ගේ සහය ලැබෙන්නේ නම් තවත් කාල දිගුවක් අවශ්‍ය නොවේ.

අගමැතිවරයාගේ ප්‍රධාන 'බ්‍රෙක්සිට්' සාකච්ඡාකරු ඩේවිඩ් ෆ්‍රොස්ට් මෙන්ම 'බ්‍රෙක්සිට්' ලේකම් ස්ටීවන් බාර්ක්ලේ යුරෝපා සංගමයේ නිලධාරීන් සමග සාකච්ඡාවල යෙදී සිටිති. අගමැතිවරයාද, සාමාජික රටවල නායකයින් හා යුරෝපා සංගමයේ ප්‍රධානීන් වන ෂෝන්-ක්ලෝඩ් ජන්කර් හා ඩොනල්ඩ් ටුස්ක් සමග සංවාදයේ යෙදී සිටී.

හිටපු අගමැතිනි තෙරේසා මේ සහ ඇගේ ආණ්ඩුව විසින් සාකච්ඡා කරන ලද පවතින එකඟතාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ කිහිප වරක් ම පරාජය කෙරිණි. එසේම, අගමැති ජොන්සන් කියා තිබුණේ එය මළ බවකි.

ආණ්ඩුවට අවශ්‍යවී තිබෙන්නේ හදිසි ආරක්ෂක පියවර / පසු නැවතුම ඉවත් කෙරුණු එකඟතාවකි. එම පියවරෙන් ඉලක්ක කෙරුණේ උතුරු අයර්ලන්තය හා අයර්ලන්ත ජනරජය අතර දේශසීමාරක්ෂක ස්ථාන හා පරීක්ෂා කිරීම්වලට ඇති කවර හෝ ඉඩකඩ වලකාලීමය.

උතුරු අයර්ලන්තය වෙනුවෙන් පමණක් එවැනි පියවරක් සඳහා යා හැකි විකල්පයක් පිළිබඳ ඇතැම් සාකච්ඡා පැවතිණි. වෙනත් ආකාරයකින් කිවහොත්, එමගින් ඇඟවෙන්නේ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ අන් ප්‍රදේශවලට වඩා වැඩි සමීප සබඳතාවක් යුරෝපා සංගමය හා පවතිනු ඇති බවකි.

මෙයින් නිසැකවම ගම්‍යවන්නේ අයිරිෂ් මුහුදේ දේශ සීමාවක් ගොඩනැගෙන බව යැයි විචාරකයෝ පවසති. මෙය, බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකුට පිළිගත හැකි දෙයක් නොවන බව තෙරේසා මේ අගමැති ධුරයේ සිටින සමයේ පැවසුවාය.

'එකඟතාවකින් තොර බ්‍රෙක්සිට්' වැළකීමේ නීතිය මගහැරීමට තැත් කිරීම

අලුත් එකඟතාවක් නොවුවහොත් හා කාල දිගුවක් අපේක්ෂා කිරීම අගමැතිවරයා විසින් බැහැර කරනු ලැබුවහොත් නීතිමය ගැටුමකට ඉඩ පැදිය හැකිය.

නීතිය පිළිපදින බව කැබිනට් අමාත්‍යවරුන් පවසා ඇති නමුත් තමන් කාල දිගුවක් ඉල්ලා නොසිටින බව අගමැතිවරයා පවසයි. කෙසේවෙතත්, නීතියේ සිදුරක් සොයමින් සිටින බවට හෝ කාල දිගුවක් ඉල්ලා නොසිටීම සඳහා අගමැති ජොන්සන් වෙනත් ක්‍රමයක් භාවිත කරන බවට ද රාවයක් පැතිර යමින් තිබිණි.

උදාහරණයක් ලෙස, තවත් දිගුවක් ඔහු ඉල්ලා සිටින අතරම එය නොසලකා හරින ලෙස යුරෝපා සංගමයට දන්වා සිටීමට ඉඩ ඇති බව කියැවේ.

ඔක් 31 වෙනිදා 'එකඟතාවකින් තොර බ්‍රෙක්සිට්'

සැකසී ඇති ආස්ථානය වන්නේ ග්‍රිනිච් වේලාවෙන් ඔක්තෝබර් 31 වෙනිදා 23 වෙනි පැයේදී එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන්ව යන බවය.

අගමැතිවරයා කාල දිගුවක් ඉල්ලා සිටිය ද ඊට යුරෝපා සංගමයේ අනෙකුත් රටවල එකඟතාව ලැබේද යන්න පිළිබඳ සහතිකයක් නොමැත.

එකඟතාවකින් තොරව ඉවත්ව යාම යන්නේ අදහස් කෙරෙන්නේ, එකම රේගු පටිපාටියක් ඇති රටවල් සමුහයෙන් (customs union) හා පොදු වෙළෙඳපොළින් (single market) බ්‍රිතාන්‍යය වහාම ඉවත්වීමය. වෙළෙඳ කටයුතු පහසු කිරීම සඳහා පියවර සැලසුම් කර ඇති බව කියැවේ.

මෙය ආර්ථිකයට හානිකර වනු ඇති බව බොහෝ දේශපාලනඥයින් හා ව්‍යාපාර පැවසුවද, තවත් අය කියා සිටින්නේ අතිශයෝක්තියකින් යුතුව අවදානම් ගැන දක්වා ඇති බවකි.

නිසි කලට පෙර ඡන්දයක්

නිසි කලට පෙර පැවැත්වීමට ඉඩ ඇති ඡන්දයක් පිළිබද පුළුල්ව අපේක්ෂා කෙරුණද එය බොහෝදුරට වීමට ඉඩ ඇත්තේ දැනටමත් ඔක්තෝබර් 31 වෙනිදාට සැලසුම් කර ඇති 'බ්‍රෙක්සිට්' පියවරෙන් අනතුරුවය.

ඡන්ද ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවම තරමින් වැඩ කරන දින 25 ක කාලයක්වත් ගතවීම ඊට හේතුවය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අතරේ වුවද, ඔක්තෝබර් 14 වෙනිදා රාජාසන කතාවක් (රැජිණගේ කතාව) පැවැත්වීමට ඉඩ තිබේ. ඉන් අනතුරුව, නිසි කලට පෙර මැතිවරණයක් පැවැත්වීම සඳහා සහය දෙන ලෙස ආණ්ඩුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් යළිත් වරක් ඉල්ලා සිටිනු ඇත. ඒ සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතරය අවශ්‍ය වන අතර එවැනි එකඟතාවකට මේ දක්වා මන්ත්‍රීවරුන්ගේ සූදානමක් දක්නට නැත.

ආණ්ඩුවට ඇති විකල්ප මාර්ගයක් වන්නේ නිසි කලට පෙර මහා මැතිවරණයක් පැවැත්වීමේ දිනය පැහැදිලි කෙරෙන කෙටි අලුත් නීති ප්‍රතිපාදනයකට යාමය. ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකේ බහුතරය නොව සරළ බහුතරය සෑහේ.

මීට අමතරව තවත් බොහෝ අපූරු ක්‍රියාමාර්ගයක් ද ඇත. එනම්, තම ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාස භංග යෝජනාවක් අගමැතිවරයාටම ඉදිරිපත් කිරීමට ඇති හැකියාවය.

ඕනෑම අවස්ථාවකදී ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට විපක්ෂයට හැකිය.

බ්‍රෙක්සිට්: සිදුවන්නට යන්නේ කුමක්ද?

එවැනි යෝජනාවක් සභාගත කරන බව ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් මීට පෙර පවසා තිබිණි. එසේම, අගමැති බොරිස් ජොන්සන් ද තමන්ගේ ම ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාස භංග යෝජනාවක් කැඳවීමට ඉඩ ඇති බවට මතයක් විය.

මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්ද ප්‍රමාණය ඊට පක්ෂව ලැබුණහොත් පවතින ආණ්ඩුවට හෝ අලුත් අගමැතිවරයෙකු සහිත විකල්ප ආණ්ඩුවකට විශ්වාසය පළකිරීමේ ඡන්දයක් ජයගත හැකිදැයි විමසා බැලීම සඳහා දින 14ක කාලයක් එළැඹේ.

ඊට කිසිවෙකු හෝ අසමත් වුවහොත් එළැඹෙන්නේ මහා මැතිවරණයකි.

බ්‍රෙක්සිට් අවලංගු කිරීම

50 වෙනි වගන්තිය (Article 50) අවලංගු කරමින් සම්පූර්ණයෙන්ම 'බ්‍රෙක්සිට්' අවලංගු කිරීමේ නෛතික ප්‍රතිපාදනයක් ද වේ.

නමුත් පැහැදිලිවම, එය පවතින ආණ්ඩුව එළැඹෙන පියවරක් නොවේ. එය සිදුවේයැයි අනුමාන කළ හැක්කේ ආණ්ඩු වෙනසකින් පමණි.

තමන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය දිනාගතහොත් 50 වෙනි වගන්තිය ඉවත් කරමින් 'බ්‍රෙක්සිට්' ක්‍රියාදාමය අවලංගු කරන බව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් (Liberal Democrats) දැනටමත් පවසා තිබේ.