බ්‍රෙක්සිට්: 'වෙහෙසට පත් ජනතාවට තීරණයක් අවශ්‍යයි'

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images
බ්‍රෙක්සිට් ගිවිසුම ප්‍රමාද වීම සම්බන්ධයෙන් සෘජුව ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චෝදනා කරන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ, මහජනතාවට පවසන්නේ ඇය "ඔවුන්ගේ පැත්තේ" සිටින බවය.
"අභ්‍යන්තර ගැටුම් සහ දේශපාලනික උපක්‍රම නිසා ජනතාව වෙහෙසට පත් වෙලා ඉන්නේ, මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන තීරණයක් ගන්න කාලය ඇවිත්,"
ඇය ඒ බව කියා සිටියේ ලන්ඩනයේ ඩවුනිං ස්ට්‍රීට්හි පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට ජනතාව අමතමිනි.
යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් වන බ්‍රෙක්සිට් ගිවිසුම ජූනි 30 වන දා තෙක් දීර්ඝ කරන ලෙස තෙරේසා මේ මීට පෙර යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටුස්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.
කෙසේ නමුත් අගමැතිනියගේ ඉහත කී ප්‍රකාශය පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ විවේචනයට ලක් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් පැවසුවේ, අගමැතිනිය "අර්බුදයේ ප්‍රමාණය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර ඇති" බවය.
බ්‍රෙක්සිට් ගිවිසුම දෙවරක් ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජය වීමත්, ගිවිසුමක් නොමැතිව යුරෝපා සංගමයෙන් ඉවත් වීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි නොවීමත් නිසා, යුරෝපා කවුන්සිලයෙන් කල් ඉල්ලා සිටීමට තෙරේසා මේට සිදු විය.
ඇය පැවසුවේ, බ්‍රෙක්සිට් ගිවිසුමේ ප්‍රමාදය "පෞද්ගලිකව විශාල කනගාටුවට කරුණක්" බවය. කෙසේ වෙතත්, ජූනි 30 වන දාට පසු තවදුරටත් කල් ඉල්ලා සිටීමට තමන් සූදානම් නැතැයි ඇය අවධාරණය කළාය.
නීතිමය තීරණය වෙනස් නොවුණහොත් එක්සත් රාජධානිය, මාර්තු 29 වන දා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය. තවදුරටත් කල් ලබා ගැනීමට අවශ්‍ය නම් සෙසු රටවල් 27 ම ඊට එකඟ විය යුතුය.
යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටුස්ක් පැවසුවේ, ලබන සතියේදී තෙවන වරටත් බ්‍රෙක්සිට් ගිවිසුම පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අනුමැතිය හිමි වුවහොත් පමණක් කෙටි කාලයක් ලබා දීමට යුරෝපා සංගමය එකඟ වනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.
'තීරණයක් ගැනීමට කාලයයි'

ඡායාරූප මූලාශ්‍රය, AFP/GETTY IMAGES
අගමැතිනිය වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, "මට හොඳට ම විශ්වාසයි, මහ ජනතාව වන ඔබට දැන් ඇති වෙලා ඉන්න බව."
"අභ්‍යන්තර ගැටුම්වලින්, දේශපාලන උපක්‍රමවලින් ඔබ වෙහෙසට පත් වෙලා ඉන්නේ,"
"දරුවන්ට පාසල්, ජාතික සෞඛ්‍ය සේවය, අපරාධ වැනි ඔබට බලපාන ගැටලු ගැන කතා නොකර මන්ත්‍රීවරුන් බ්‍රෙක්සිට් ගැන ම කරන කතා අහලා ඔබ වෙහෙසට පත් වෙලා ඇති."
"ඔබට අවශ්‍ය මේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ඉවරයක් වෙනව දකින්නයි. මම එකඟයි. මම ඉන්නේ ඔබේ පැත්තේ ."
ගිවිසුමක් සහිතව ඉවත් වනවා ද, ගිවිසුමකින් තොරව ඉවත් වනවා ද, එසේ නැතහොත් යුරෝපා සංගමයෙන් ඉවත් නොවී සිටිනවා ද යන්න තීරණය කිරීමට මන්ත්‍රීවරුන්ට කාලය පැමිණ ඇතැයි අග්‍රාමාත්‍යවරිය පැවසීය. ඇය සඳහන් කළේ, යම් හෙයකින් යුරෝපා සංගමයෙන් ඉවත් නොවීමට උත්සහ කළහොත් එය "මහජන විශ්වාසයට දැඩි හානියක්" වනු ඇති බවය.
ඇය අවසන් වශයෙන් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ, සිය ගිවිසුමට සහය දෙන ලෙසය. ඇය ජනතාව හමුවේ අවධාරණ කළේ, "ඔබට අවශ්‍ය ඒ ගිවිසුම ක්‍රියාත්මක කරන්න. මම ඒ වෙනුවෙන් කැප වනවා."
ඉදිරි පියවර
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ ප්‍රධාන මැදිහත්කරු මයිකල් බානියර් හමුවීමට කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් බ්‍රසල්ස් බලා යාමට නියමිතය. එහිදී යුරෝපා සංගමයේ සාමාජික රටවල නායකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
පළමු වර ගිවිසුමට එරෙහි වුව ද දෙවන වර පක්ෂව ඡන්දය භාවිත කළ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනා සමග අගමැතිනි තෙරේසා මේ, බදාදා (මාර්තු 20) සාකච්ඡාවක් පැවැත්වීය.








