සෝමාලියාව: ඉස්ලාමීය කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයෙන් විසි හයක් මරුට

A man stands at the scene of a hotel attack in Somalia

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයට ලක් වූ හෝටල් ගොඩනැගිල්ල

දකුණු සෝමාලියාවේ හෝටලයකට එල්ල කෙරුණ ප්‍රහාරයකින් විසි හය දෙනෙකු මරණයට පත් වූ බව එරට බලධාරීහු පවසති.

මරණයට පත්වූවන් අතර ප්‍රමුඛ පෙළ මාධ්‍යවේදිනියක් සහ විදේශිකයන් කීප දෙනෙකුත් ඇති බව වාර්තා වෙයි.

ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරු, පුපුරන ද්‍රව්‍ය සහිත මෝටර් රථයක් 'කිසිමයෝ' වරාය නගරයේ පිහිටි 'අසාසෙ' හෝටලය වෙත පදවා ඇති අතර, ඒ සමඟ තුවක්කුකරුවන් කණ්ඩායමක් ගොඩනැගිල්ල තුළට කඩා වැදී ඇත.

'අල් ශබාබ්' ඉස්ලාමීය කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇත.

2012 වසරේදී කැරලිකරුවන් 'කිසිමයෝ' ප්‍රදෙශයෙන් පළවා හැරීමෙන් අනතුරුව නගරයට එල්ල වූ බරපතලම ප්‍රහාරය මෙයයි.

මරණයට පත් පිරිස අතර මාධ්‍යවේදිනී හෝඩන් නලයෙහ්, ඇයගේ ස්වාමිපුරුෂයා මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයෙක්, කෙන්යානු ජාතිකයන් තිදෙනෙක්, ටැන්සානියානු ජාතිකයන් තිදෙනෙක්, ඇමරිකානුවන් දෙදෙනෙක් සහ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වෙති.

ප්‍රහාරය එල්ල වූයේ කෙසේද?

Journalist Hodan Naleyah is seen during a BBC interview
ඡායාරූප ශීර්ෂ වැකිය, මාධ්‍යවේදිනී හෝඩන් නලයෙහ්

ප්‍රහාරය ආරම්භ වී ඇත්තේ කලාපයේ දේශපාලනඥයන් සහ වැඩිහිටි ප්‍රජා නායකයන් හෝටලයට රැස්ව ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් මැතිවරණය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියදීය.

තුවක්කුකරුවන් හෝටලයට කඩා වදිත්ම විශාල පිපිරුම් ශබ්දයක් ඇසුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

"ඇතුළත තිබුණේ ව්‍යාකූල තත්ත්වයක් . මළ සිරුරු ගණනාවක් උස්සන් යනවා මම දැක්කා. ළඟපාත ගොඩනැගිලිවල සිටි මිනිස්සු දිව්වා," හුසේන් මුක්තාර් කියා සිටියේය.

හෝටල් ගොඩනැගිල්ලේ පාලනය සියතට ගැනීමට ආරක්ෂක අංශවලට පැය දොළහක පමණ කාලයක් ගත විය.

ප්‍රහාරයෙන් විසිහය දෙනකු මරණයට පත්ව තවත් පනස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය ජනාධිපති අහමඩ් මොහොමඩ් පවසයි.

ප්‍රහාරකයන් තිදෙනෙකු මරා දමනු ලද අතර එක් ප්‍රහරකයකු අල්ලා ගත් බවත් බලධාරීහු සඳහන් කළහ.

මෙවැනි ප්‍රහාර කෙතරම් සුලබද?

Al Shabab fighters. File photo

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, අල් ශබාබ් කැරලිකරුවන්

සෝමාලියාව තුළ සුලබ වශයෙන් ප්‍රහාර වාර්තා වුවත් 'අල් ශබාබ්' කැරලිකරුවන් 'කිසිමයෝ' පළාතෙන් පළවා හැරීමෙන් පසු වරාය නගරය තුළ සාපේක්ෂ වශයෙන් පැවතියේ සාමකාමී වාතාවරණයකි.

අප්‍රිකානු සංගමයේ සාම සාධක හමුදා සහ ඇමරිකාව විසින් පුහුණු කරන ලද සෝමාලියානු හමුදා භටයන් විශාල වශයෙන් යොදවා තිබුණ ද මොගදිෂු අගනුවර නිතර කැරලි ප්‍රහාරයන්ට ලක්වේ.

අල් ශබාබ් ඉස්ලාමීය කැරලි කණ්ඩායම 'අල් ඛයිදා' සංවිධානය සමග සම්බන්ධව කටයුතු කරන අතර ඔවුන් සෝමාලියාවේ ග්‍රාමීය ප්‍රදේශවල තවමත් බලවත්ය.