කෙන්යාවේ හෝටලයකට සන්නද්ධ පිරිසකගෙන් ප්‍රහාරයක්

කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයකට අඟහරුවාදා (ජනවාරි 15) ප්‍රහාරයක් එල්ල විය.
DusitD2 හෝටලය මෙන්ම කාර්යාල පිහිටා ඇති වෙස්ට්ලන්ඩ් ප්‍රදේශයෙන් වෙඩි තැබීම් මෙන්ම අවම වශයෙන් පිපිරීම් දෙකක් ඇසී තිබේ.
තමන් මේ ප්‍රහාරය පසුපස සිටින බව සෝමාලියාවේ අල්-ශබාබ් සන්නද්ධ කණ්ඩායම පවසා ඇතත් වැඩිදුර තොරතුරු ප්‍රකාශ වී නැත. සන්නද්ධ පුද්ගලයින් සිව් දෙනෙකු හෝටල් සංකීර්ණයට ඇතුළුවූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ.
එම සංකීර්ණයෙන් පිටවන පුද්ගලයන්ට සන්නද්ධ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලැබිණි. එසේ පිටවූ පුද්ගලයින්ගෙන් ඇතැමෙක් ලෙයින් නැහැවී සිටියහ.

තරු පහේ හෝටලයක් වන DusitD2 හෝටලයේ කාමර 101 කි. නයිරෝබි අගනුවර කාර්යබහුලම ප්‍රදේශයේ සිට මිනිත්තු කිහිපයක දුරින් පිහිටි වෙස්ට්ලන්ඩ් ප්‍රදේශයේ පිහිටි එම හෝටලය අවන්හල් කිහිපයකින් ද සමන්විතය.
මෑත වසර කිහිපය තුළ කෙන්යාවේ ත්‍රස්ත ප්‍රහාර ගණනාවක් වාර්තා විය. සෝමාලි දේශසීමාවට ආසන්න ප්‍රදේශ හා අගනුවරට එම ප්‍රහාර එල්ල වූ බවක් පෙනෙන්නට තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
අල්-ශබාබ් යනු කවරහුද?
සෝමාලි ආණ්ඩුවට එරෙහි ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන අල්-ශබාබ්, නැගෙනහිර අප්‍රිකාව පුරා ද ප්‍රහාර එල්ල කර ඇත.
2013 වසරේදී නයිරෝබි අගනුවර පිහිටි වෙස්ට්ගේට් සාප්පු සංකීර්ණයට කඩා වැදුණු අල්-ශබාබ් සටන්කරුවෝ එහි සාප්පු සවාරියේ යෙදෙමින් සිටියවුන් සිය ගිනි අවිවල ඉලක්ක කරගත්හ.
පැය 80 ක කාලයක් පැවති එම ප්‍රහාරයේදී මියගිය ගණන 67 කි.
ඉන් වසර දෙකකට පසු එම කණ්ඩායම කෙන්යාව තුළ සිය දරුණුතම ප්‍රහාරය එල්ල කළේ ගරිස්සා විශ්ව විද්‍යාලයේදී පුද්ගලයින් 150 දෙනෙකු පමණ වෙඩි තබා මරා දමමිනි.








