මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් භික්ෂූන් විසි දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරෙති: මෙහෙයවූ බව කියන භික්ෂුවත් අත්අඩංගුවට

අත්අඩංගුවට ගැනීමෙන් පසු භික්ෂූන් වහන්සේලා පිරිස 2026 අප්‍රේල් 26 වන දින අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණෙන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Ishara S. KODIKARA / AFP via Getty Images)

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ලෝක සාමය පතා විදෙස් භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙරට පා ගමනක යෙදෙන මොහොතක විදෙස් සංචාරයකට ගොස් පෙරළා පැමිණි මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් මත්ද්‍රව්‍ය සමග කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

තායිලන්ත සංචාරයක් නිම කර මෙරටට පැමිණි ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා 22 දෙදෙනෙකු මෙසේ කිලෝ ග්‍රෑම් 110කට අධික "කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව ඇත.

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් භික්ෂූන් විසි දෙදෙනාගේ සිදුවීම ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

මත්ද්‍රව්‍ය සමග භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව

අත්අඩංගුවට ගත් හිමිවරුන් කටුනායක ගුවන්තොටුපල තුළ ඇවිද යන ආකාරය
ඡායාරූප ශීර්ෂ වැකිය, අත්අඩංගුවට ගත් හිමිවරුන් කටුනායක ගුවන්තොටුපළ තුළ ඇවිද යන ආකාරය

බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු බුද්ධි තොරතුරක් මත අප්‍රේල් 25 වන දා තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් රාත්‍රී 10.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිමෙන් අනතුරුව මෙම භික්ෂූන් වහන්සේලා පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් හිමිවරුන් රේගු නිලධාරීන් සමග සිටින අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, රේගු නිලධාරීන් භාරයේ සිටින අත්අඩංගුවට ගත් හිමිවරුන්

භික්ෂූන්ගේ ජංගම දුරකතනවලින් අනාවරණය වී ඇත්තේ මොනවා ද?

භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකතන තුළ තිබී අනාවරණය වුණු ඡායාරූපයක්: මෙහි භික්ෂුවක් බැල්කනියක සිට පුටුවක වාඩි වී දුම් පානය කරන අයුරු දැක්වේ

ඡායාරූප මූලාශ්‍රය, PROVIDED

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇතැම් භික්ෂූන් වහන්සේලා ගිහියන් ලෙස සැරසී සිටින ජායාරූප පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අනාවරණය කරගෙන තිබේ

අනුග්‍රාහකයෙකු ලබා දුන් ගුවන් ටිකට්පත් මගින් මෙම භික්ෂූන් වහන්සේලා තායිලන්තය බලා ගොස් තිබේ.

භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකතන තුළ තිබී අනාවරණය වුණු ඡායාරූපයක්: මෙහි එක් හිමිනමක් ගිහියෙකු ලෙස සැරසී කාන්තාවක සමග සිටින අයුරු දක්නට ලැබේ. හඳුනා ගැනීමට නොහැකි වන ලෙස ඔවුන්ගේ මුහුණු බොඳ කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, PROVIDED

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල විහාරස්ථානවල වැඩ වාසය කරන මෙම තරුණ භික්ෂූන් වහන්සේලා, විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින පිරිසක් බව හෙළිව ඇත.

භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකතන තුළ තිබී අනාවරණය වුණු ඡායාරූපයක්: මෙහි භික්ෂුවක් තායිලන්තයේ සිවිල් ඇඳුමින් සැරසී සිටින අයුරු දැකගත හැක

ඡායාරූප මූලාශ්‍රය, PROVIDED

ඡායාරූප ශීර්ෂ වැකිය, තායිලන්තයේදී සිවිල් ඇඳුමින් සැරසී සිටින භික්ෂුවක්

එමෙන් ම, මෙම ඇතැම් භික්ෂූන් වහන්සේ තායිලන්තයේදී ගිහියන් ලෙස සැරසී විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී සිටින ජායාරූප සහ වීඩීයෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකතන තුළ තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අනාවරණය කරගෙන තිබේ.

ගමන් මලු තුළ කිලෝ ග්‍රෑම් 5කට අධික මත්ද්‍රව්‍ය සඟවා තිබියදී සොයා ගනී

භික්ෂූන් වහන්සේලා රැගෙන ආ ගමන් මලු තුළ පාසල් උපකරණ, විවිධ රසකැවිලි අතර, ව්‍යාජ පතුල් සකස් කර සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබී ඇති අතර සෑම භික්ෂූන් වහන්සේ නමකගේ ම ගමන් මලු තුළ කිලෝ ග්‍රෑම් 5කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සඟවා තිබියදී සොයා ගැනීමට හැකිව ඇත.

එසේ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන එන ලද "කුෂ්" සහ "හෑෂ්" කිලෝ ග්‍රෑම් 110කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරයට ගෙන තිබේ.

භික්ෂූන් වහන්සේලාගේ ගමන් මල්ලක මත්ද්‍රව්‍ය සඟවා ඇති අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, භික්ෂූන් වහන්සේලාගේ ගමන් මල්ලක මත්ද්‍රව්‍ය සඟවා තිබූ අයුරු

ජාවාරම මෙහෙයවා ඇත්තේ භික්ෂූන් වහන්සේ නමක් ද?

අත්අඩංගුවට පත් භික්ෂුන් වහන්සේලා ගුවන්තොටුපළ තුළ තම ගමන් මලු සමග
ඡායාරූප ශීර්ෂ වැකිය, භික්ෂූන් වහන්සේලාගේ තායිලන්ත සංචාරය සංවිධානය කළ බව පැවසෙන කැලණිය ප්‍රදේශයේ "අමිතානන්ද" නමැති භික්ෂුවක අත්අඩංගුවට
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම සිදුවීම පිළිබඳව බීබීසී සිංහල තවදුරටත් කරුණු සොයා බැලූ අතර එහිදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි මිනුර සෙනරත් සඳහන් කළේ, සැකකාර භිෂූන් වහන්සේලාගේ තායිලන්ත සංචාරය සංවිධානය කළ බව පැවසෙන කැලණිය ප්‍රදේශයේ "අමිතානන්ද" නමැති භික්ෂුවක සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ය.

අදාළ භික්ෂුව සඳුදා (අප්‍රේල් 27) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල වෙත පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (අප්‍රේල් 26) බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු මෙලෙස සඳහන් කළේ ය:

"අමිතානන්ද වගේ කියලා නමක් තියෙන හාමුදුරු කෙනෙක් ඉන්නවා කැලණිය පැත්තේ, කලිනුත් එයා හාමුදුරුවෝ එක්ක ටුවර් එකක් ගිහිල්ලා තියෙනවා. ඒ හාමුදුරුවෝ තමයි කියලා තියෙන්නේ මේ පාර්සල් ටික ඩොනේෂන් එකක්, වෑන් එකක් එයි, ඒ වෑන් එකට දෙන්න කියලා."

කෙසේ වෙතත්, සැකකාර භික්ෂුව මෙවර තායිලන්ත සංචාරයට එක්ව නැති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු පැවසුවේ, මෙම භික්ෂුව ජාවාරම මෙහෙයවා ඇති බවට සැක කරන බවත් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් ය.

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සෙසු භික්ෂූන් වහන්සේලා පිරිස ඉරිදා (අප්‍රේල් 26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන තිබිණි.

ඒ අනුව, උන්වහන්සේලා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කරන බව ⁣වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ අනුදැනුමකින් තොරව මෙම ජාවාරම සඳහා යොදාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

'ශාසනයෙන් නෙරපීමට කටයුතු කරනවා': ත්‍රෛනිකායික මහ නාහිමිවරු ප්‍රතිචාර දක්වති

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් පවසන්නේ, 'උතුම් බුද්ධ චීවරය අවභාවිත කරමින් භික්ෂු ශාසනයත්, ශ්‍රී ලාංකේය ඓතිහාසික භික්ෂු භූමිකාවත් සමස්ත ලෝකය ඉදිරියේ අවමානයට පත් කරමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිදු කරන ලද ශාසන විරෝධී, සමාජ විරෝධී මෙන් ම නීති විරෝධී ක්‍රියාව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ලෙස තරයේ හෙළා දකින,' බව ය.

ඊට අමතරව, අදාළ සිද්ධිය පිළිබඳව කරුණු සොයා බලා වැරදිකාර භික්ෂූන් ශාසනයෙන් නෙරපීමට පියවර ගන්නා බව ද එම නිවේදනයේ දැක්වේ.