ඩොනල්ඩ් ට්‍රම්ප්: බ්‍රිතාන්‍යය පුරා උද්ඝෝෂණ රැල්ලක්

ඡායාරූප මූලාශ්‍රය, EPA/ANDY RAIN
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර කිහිපයක ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරයට විරෝධය දක්වමින් මහ පරිමාණ උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.
ඉන් එක් උද්ඝෝෂණයක් ට්‍රැෆල්ගා චතුරශ්‍රයේ පැවැත් වේ. කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් ද ලන්ඩන් නගරයේ පැවැත්වෙන එම විරෝධතා රැළිය ඇමතීමට නියමිත බව වාර්තා වේ.
ට්‍රම්ප් විරෝධී රැළිය පැවැත්වෙන ස්ථානය සැණකෙළි ස්වරුපයක් ගෙන ඇති අතර එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තර කර ඇත.

එක් පුද්ගලයෙක් ගෝරිල්ලෙකු ලෙස නිමවූ ඇඳුමක් ඇඳ ට්‍රම්ප් මෙන් දිස්වෙන වෙස් මුහුණක් පැළඳ කුඩුකර සිටියේය. එම කුඩුවට පිටතින් බොරිස් ජොන්සන්ට සමානකම් ඇති වෙනත් අයෙක් සිර ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන සිටී.
සමහරු, "ඔහුව හිර කරනු" යනුවෙන් දැක්වෙන පුවරු දරාගෙන සිටින අතර වෙනත් අයෙක් "ට්‍රම්ප් ලෝකෙටම අනතුරක්" යනුවෙන් දැක්වෙන පුවරු දරා සිටියහ.
ලන්ඩන් හි පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගී වන බව පවසන ඇලෙක්ස් කෙනී, බීබීසීය සමග කීවේ ට්‍රම්ප්ගේ අදහස් නිසා, "ලොව අස්ථාවර වීමක් සහ බෙදීමක් සිදුවන" බවය.
මේ අතර බ්‍රිතාන්‍යයේ සංචාරයක නියුතු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා (ජුනි 04) අගමැතිනී තෙරේසා මේ සමග සාකච්ඡා පැවැත්විය.
එහිදී, දෙරට අතර වෙළෙඳ සම්බන්ධතා වර්ධනය කිරීම ගැන අවධානය යොමු විණි.
මේ අතර සඳුදා රාත්‍රියේ බකිංහම් මාලිගාවේ පැවති භෝජන සංග්‍රහය අතරතුර ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව අතර පවතින "සදාකාලික මිත්‍රත්වය" ට ප්‍රශංසා කළේය.
එහිදී, එළිසබෙත් රැජින පෙන්වා දුන්නේ දෙරට අතර පවතින සම්බන්ධතාව නිසා "අපේ ජනතාවගේ ආරක්ෂාව සහ සෞභාග්‍යය දශක ගණනාවක් පුරා" සහතික වූ බවය.
බ්‍රිතාන්‍යයට පැමිණීමටත් පෙර ම ට්‍රම්ප්, ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් සහ ඔහු අතර පවතින දේශපාලන හබය නැවුම් කර ගත්තේ සාදික් ඛාන් "අන්තිම පරාජිතයෙකු" බව පවසමිනි.

දෙරට අතර ව්‍යාපාරික සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ අරමුණින් අඟහරුවාදා උදෑසන ශාන්ත ජේම්ස් මාලිගාවේ පැවති භෝජන සංග්‍රහයට ප්‍රමුඛ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු ව්‍යාපාරිකයෝ පිරිසක් සහභාගී වී සිටියහ.
සිකුරාදා තම පක්ෂ නායකත්වයෙන් සමු ගන්නා තෙරේසා මේ, උදෑසන භෝජන සංග්‍රහයෙන් අනතුරුව, තම නිල කාර්යාලයේදී තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතය.
එහිදී දෙදෙනා එකඟ නොවන කාරණා කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බව සඳහන් වේ.










