ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමරිකාවේදී ගඟකට ඇදුණු ගුවන් යානය
කුණාටු සහිත අයහපත් කාලගුණයක් මැද ඇමරිකාවේ ෆ්ලොරීඩාහි ගුවන් තොටුපලකට ගොඩබට ගුවන් යානයක් ගුවන් පථයෙන් ලිස්සා ගොස් අසල පිහිටි ගංගාවක නතරව තිබේ.
බෝයිං 737 වර්ගයට අයත් ගුවන් යානයේ සිටි මගීන් 143 දෙනාගෙන් කිසිවෙකුටත් මෙම සිද්ධියෙන් බරපතල හානි නැතැයි වාර්තා විය.
මයාමි එයාර් ඉන්ටර්නැෂනල් සමාගමට අයත් මෙම යානය කියුබාවේ ගුවන්තනාමෝ බේ සිට ඇමරිකාවේ ජැක්සන්විල් හි හමුදා කඳවුරක් බලා පියාසර කරමින් තිබිණි.
සිකුරාදා (අප්‍රේල් 03) රාත්‍රියේ ගුවන් යානය ගොඩබාන විට කුණාටු තත්වයක් පැවතුණු අතර එය ගුවන් පථයෙන් ඉවත ගොස් අසළ පිහිටි ශාන්ත ජෝන්ස් ගංගාවට ලිස්සා ගිය බව මගීහු පැවසූහ.
පුද්ගලයන් විසිදෙනෙකුට පමණ සුළු තුවාලවලට ප්‍රතිකාර කර තිබේ.
"එය ඉතා බිය ජනක අවස්ථාවක්" යැයි යානයේ සිටි මගියෙකු වන ෂෙරිල් බෝමන් CNN පුවත් සේවයට කියා සිටියාය.
"ගුවන් යානය බිම වැදී උඩ පැන්නා. ඒ වෙනකොට එය ගුවන් නියමුවාට පාලනය කරගන්න පුළුවන් තත්වයක තිබුණේ නැහැ. එය නැවත වතාවක් උඩ විසි වුණා," ඇය පැවසීය.
"අපි වතුරේ හිටියේ. අපිට හිතා ගන්න බැරි වුණා කොහේ ද ඉන්නේ කියලා, ඒක ගඟක් ද මුහුද ද කියලා හිතා ගන්න බැරි වුණා."
ගුවන් යානා ඉන්ධන ගංගාවට ගලා යන විට එයින් නැගුණ ගන්ධය දැනුණ බව ඇය තවදුරටත් පැවසුවාය.