ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2018 වසරේ ගුවන් අනතුරුවල විශාල වැඩි වීමක්
2017 වසර සමග සංසන්දනය කිරීමේ දී 2018 වසර තුළ ගුවන් අනතුරුවල විශාල වැඩිවීමක් දක්නට ලැබෙන නමුත් ගුවන් අනතුරු ඉතිහාසය දෙසැ බැලීමේදී ආරක්ෂාව අතින් 2018 වසර නව වන ස්ථානයේ පසුවන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
පසුගිය වසර තුළ ගුවන් අනතුරුවලින් පුද්ගලයන් 556 දෙනෙකු මියගොස් ඇති අතර 2017 වසරේ එවැනි අනතුරු හේතුවෙන් මියගොස් ඇත්තේ 44 දෙනෙකු පමණක් යැයි ගුවන් ගමන් ආරක්ෂණ ජාලය (ASN) නමැති ආයතනය වාර්තා කරයි.
පුද්ගලයන් 189 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් පසුගිය වසරේ ඔක්තෝබර් මස 'ලයන් එයාර්' සමාගමට අයත් ගුවන් යානයක් ඉන්දුනීසියාවේ දී අනතුරට පත් වූ අතර එය වසරේ දරුණුතම ගුවන් අනතුර ලෙස සැලකේ.
මගී ජෙට් යානා අනතුරු වාර්තා වී නොමැති 2017 වසර, වාණිජ ගුවන් ගමන් ඉතිහාසයේ ආරක්ෂාකාරීම වසර වේ.
'විශාල දියුණුවක්'
2018 වසරේ සිදු වූ ගුවන් අනතුරුවලින් අති දරුණු අනතුරු පහළොවක් වාර්තා වී ඇති බව නෙදර්ලන්තයේ පිහිටා ඇති ගුවන් ගමන් ආරක්ෂණ ජාලය (ASN) පවසයි.
- 'ලයන් එයාර්' සමාගමට අයත් බෝයිං 737 මැක්ස් ගුවන් යානය ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ගුවන් තොටුපළෙන් පිටත් වී සුළු වෙලාවකින් මුහුදට කඩා වැටුණු අතර එම ගුවන් යානය පියාසර කිරීමට සුදුසු තත්ත්වයක තිබී නොමැත.
- අත්වැරදීමක් හේතුවෙන් කියුබාවේ සිදු වූ ගුවන් අනතුරින් පුද්ගලයන් 112 දෙනෙක් මිය ගියහ.
- පසුගිය පෙබරවාරි මස ඉරානයේ සාග්‍රොස් කඳුවැටිය ආසන්නයේ සිදු වූ ගුවන් අනතුරෙන් පුද්ගලයන් 66 දෙනෙක් මිය ගියහ.
- නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපොළට ගුවන් යානයක් ගොඩ බැස්සවීමේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 51 දෙනෙක් මිය ගියහ.
කෙසේවෙතත් පොදුවේ ගත් කළ ආරක්ෂාව අතින් පසුගිය වසර 20 තුළ වර්ධනයක් දක්නට ලැබේ.
මේ තොරතුරුද කියවන්න:
"ගුවන් ගමන් අනතුරු වසර දහයකට පෙර තත්ත්වයේම තිබුණා නම් පසුගිය වසර තුළ දරුණු ගුවන් ගමන් අනතුරු තිස්හයක් වෙන්න තිබුණා" යැයි ඒ.එස්.එන් ප්‍රධාන විධායක නිලධාරි හරෝ රැන්ටර් පැවසීය.
"2000 වසරේ අනතුරු සිදු වූ ප්‍රමාණය ගැන බලද්දී පසුගිය වසරේ මාරක අනතුරු හැටහතරක් වෙන්න තිබුණා. මෙයින් පෙනී යනවා පසුගිය වසර විස්ස තුළ ආරක්ෂාව අතින් කෙතරම් වර්ධනයක් වෙලා ද කියලා."
නමුත් පසුගිය වසර පහ තුළ සිදු වූ අනතුරු විසි පහකින් දරුණු අනතුරු දහයක් පමණ සිදුව ඇත්තේ එය වළක්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙනි. ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති බව ඒ.එස්.එන් ආයතනය පවසයි.
ගුවන් ගමන් පථයෙන් ඉවත් වීම, යාන්ත්‍රික දෝෂ, අත්වැරදීම් හෝ පරිසරයේ වෙනස්කම් හේතුවෙන් මාරක ගුවන් අනතුරු සිදුවිය හැකි බව ඒ.එස්.එන් පැවසුවේය.