නවසීලන්ත ප්‍රහාරය: ජාති ආගම් බේද නොමැතිව අනුස්මරණය කරනුවස් පැවති මිනිත්තු දෙකක නිශ්ශබ්දතාව

Christchurch attack

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙනත් ආගම් අදහන කාන්තාවන් හිජාබයක් ඇඟලා හෝ සිය හිස වසාගෙන අවමංගල උත්සවය සඳහා පැමිණ සිටියහ

පසුගිය සතියේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකරමින් ඉස්ලාම් දහමට අනුව සිදුකළ යාඥා නවසීලන්ත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර, සිකුරාදා (මාර්තු 22) පැවැත්වුණු සියලු උත්සවවල මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් ද පවත්වනු ලැබිණ.

පසුගිය සිකුරාදා වෙඩි තැබීම් සිදු වූ මුස්ලිම් දේවස්ථාන දෙකින් එකක් වන අල්-නූර් ඉදිරිපිට පැවැත්වූ මෙම යාඥා සඳහා දහස් ගණනක පිරිසක් එක්ව සිටි අතර, නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ද එයට සහභාගි වී සිටියාය.

Christchurch attack

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දහස් ගණනක පිරිසක් අල්-නූර් මුස්ලිම් දේවස්ථානය අසල පිහිටි හැග්ලි උද්‍යානයට පැමිණියහ

යාඥා මෙහෙය වූ ගමාල් ෆූඩා ඉමාම්වරයා පැවසුවේ, "අපේ හදවත් කැඩී ගියාට, අපි කඩා වැටිලා නැහැ," යනුවෙනි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් පනස්දෙනෙකු මියගිය අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ.

ජාතිවාදී දක්ෂිණාංශික මතවාද දරමින් වෙඩි ප්‍රහාරය සිදු කළ බ්‍රෙන්ටන් ටරන්ට් නමැති විසි අට හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයාට එරෙහිව එක් මිනී මැරුමක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබ තිබෙන අතර, ඔහුට එරෙහිව තවත් චෝදනා ගණනාවක් ගොනු කර ඇත.

නවසීලන්තය තුළ අර්ධ ස්වයංක්‍රීය ගිනි අපි භාවිතය සහ ළඟ තබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් කරමින් බ්‍රහස්පතින්දා දින (මාර්තු 21) නිවේදනයක් නිකුත් කිරීමට අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ක්‍රියා කළාය.

මේ තොරතුරුද කියවන්න:

සිකුරාදා සිදු වූයේ කුමක්ද?

වෙඩි ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් සිහි කිරීම සඳහා වූ ජාතික දිනයක් ලෙස සිකුරාදා (මාර්තු 22) නම් කරන ලද අතර, දහස් ගණනක පිරිසක් අල්-නූර් මුස්ලිම් දේවස්ථානය අසල පිහිටි හැග්ලි උද්‍යානයට පැමිණියහ.

එහි පැවැත්වූ මුස්ලිම් යාඥා නවසීලන්ත ජාතික රූපවාහිනී නාලිකාව සහ ගුවන්විදුලිය ඔස්සේ විකාශනය විය. එමෙන්ම, මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පවත්වා තිබිණි.

Christchurch attack

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් අනතුරුව විපතට පත්වුවන් වෙනුවෙන් ශෝකය පළ කළ ඇය හිජාබයක් පැළඳීම තුළින් ශක්තිමත් පණිවුඩයක් ලබා දී ඇතැයි එහි සිටින බීබීසී වාර්තාකරු පැවසීය

"මුළු නවසීලන්තයම ඔබේ දුක බෙදා ගන්නවා. අපි සියලුදෙනාම එක්කෙනක්" යැයි අගමැතිනිය සිය කතාව අතරතුර පැවසීය.

රට පුරා පිහිටි මුස්ලිම් දේවස්ථාන ඕනෑම පුද්ගලයෙකුට ඇතුළු විය හැකි ලෙස එදින විවෘත කර තිබූ අතර එම ස්ථාන ආරක්ෂා කිරීම සංකේතවත් කිරීම සඳහා විශාල පිරිසක් අත්වැල් අල්ලාගෙන ගොඩනැගිලි ඉදිරිපිට සිටිනු දක්නට ලැබිණි.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය අවුරුදු තුනක් වයසැති මුකාඩ් ඊබ්‍රහිම් ඇතුළු තවත් 30 දෙනෙකු වෙනුවෙන් විශාල අවමංගල උත්සවයක් ද පැවැත්වුණි.

මෙම අවස්ථාව සඳහා නවසීලන්ත ජාතිකයන් ජාති ආගම් බේදයකින් තොරව සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.

Christchurch attack

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "අපේ එකමුතුකම පෙන්වීම සඳහා මම අද මෙයින් සැරසී ඉන්නවා"

වෙනත් ආගම් අදහන කාන්තාවන් හිජාබයක් ඇඟලා හෝ සිය හිස වසාගෙන අවමංගල උත්සවය සඳහා පැමිණ සිටියහ.

"අපේ එකමුතුකම පෙන්වීම සඳහා මම අද මෙයින් සැරසී ඉන්නවා" යැයි කොණ්ඩා මෝස්‌තර නිර්මාණ ශිල්පිනියක වන මෙලඩි සිය නිල් පැහැති හිස් ආවරණය පෙන්වමින් පැවසුවාය.

පසුගිය සිකුරාදා සිදු වූ ප්‍රහාර පිළිබඳ ක්‍රයිස්ට්චර්ච්හි දිවි ගෙවන අනෙක් පුද්ගලයන් සේම මෙලඩි ද බොහෝ පසු තැවෙන බව පැවසුවාය.

තවත් තොරතුරු:

"මේ අපි නොවෙයි", "මෙයින් ක්‍රයිස්ට්චර්ච් පිළිබිඹු වන්නේ නැහැ", "මෙහි වර්ගවාදයට ඉඩක් නැහැ" ලෙස සඳහන් කළ පුවරු නගරය පුරා දක්නට ලැබිණි.

ක්‍රයිස්ට්චර්ච් නගරයේ සෑම දිශාවකින්ම පැමිණි පිරිස මියගිය අය සිහිකරමින් රැගෙන ආ මල් සහ විවිධ සටහන්වලින් හැග්ලි උද්‍යානය වැසී තිබිණි.

Christchurch attack

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නවසීලන්තයේ පවතින බහුසංස්කෘතික සමාජය සහ සාධනීය බව පිළිබිඹු කරන සංකේත සහිත කබා ඇඟලා ගත් එරට ආදිවාසීන් වන මඕරි ජාතිකයන්ගේ මෝටර් බයිසිකල් කණ්ඩායමක් මුස්ලිම් යාඥා පැවැත්වෙන කාලය අතරතුර ආරක්ෂාව සපයනු දක්නට ලැබිණි.

"මේ සිද්ධිය ගැන ඉතා කනගාටුවට පත් වෙනවා. හැබැයි, මෙයින් පසු අපි හැමෝම තවත් එකමුතු වුණා" යැයි 1951 සිය උපතේ සිට මේ වනතෙක් ක්‍රයිස්ට්චර්ච් නගරයේ දිවි ගෙවන ක්‍රිස්ටීන් මැක්කාට්නි බීබීසී වාර්තාකරු හෝවාර්ඩ් ජොන්සන් සමග පැවසීය.

Christchurch attack

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රට පුරා සිටින අන් ආගමික කාන්තාවන්ට සිකුරාදා දින හිස ආවරණ පලඳින ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය ජාල ව්‍යාපාරයක් ද දියත් කර තිබිණි

මෙම ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන් සිහිකරමින් සිකුරාදා (මාර්තු 22) දින නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පසුගිය දිනක දී සිය පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

"නවසීලන්ත ජාතිකයන් බොහෝ දෙනෙකුට පසුගිය සතියේ වූ සිද්ධිය සිහි කර ශෝකය බෙදා ගන්න වගේම මුස්ලිම් ජාතිකයන්ට නැවත දේවස්ථානවලට යෑමට උදව් කරන්න අවශ්‍ය බව මම දන්නවා" යැයි අගමැතිවරිය පැවසුවාය.

ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආඩන් කටයුතු කළ ආකාරය ප්‍රශංසාවට ලක් වී තිබේ. ප්‍රහාරයෙන් අනතුරුව විපතට පත්වුවන් වෙනුවෙන් ශෝකය පළ කළ ඇය හිජාබයක් පැළඳීම තුළින් ශක්තිමත් පණිවුඩයක් ලබා දී ඇතැයි එහි සිටින බීබීසී වාර්තාකරු පැවසීය.

එමෙන්ම, රට පුරා සිටින අන් ආගමික කාන්තාවන්ට සිකුරාදා දින හිස ආවරණ පලඳින ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය ජාල ව්‍යාපාරයක් ද දියත් කර තිබිණි.