ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ළමුන් සමඟ ලිංගිකව හැසිරීම: කාදිනල් වැරදිකරු වෙයි
කාර්දිනල් ජෝර්ජ් පෙල් ඕස්ට්‍රලියාවේදී සිදු කළා යැයි පැවසෙන ලිංගික අපරාධ සඳහා වැරදිකරුවෙක් ලෙස නම් කර තිබේ.
මෙවැනි චෝදනාවකට වැරදිකරු වූ ඉහළම කතෝලික පූජකවරයා වන්නේ ඔහුය.
පෙල් විසින් මෙල්බර්න් නුවර පල්ලියක කාමර තුළ දී ගීතිකා කණ්ඩායමක පිරිමි ළමුන් දෙදෙනෙක් අපයෝජනය කර ඇති බව ජුරිය තීරණය කළේය.
නමුත් තමා නිවැරදි බව ඔහු පවසයි.
මෙම උසාවි තීරණය පසුගිය දෙසැම්බර් මාසයේදී ලබා දුන්නද, එය මේවනතෙක් වාර්තා කිරීමට නොහැකි වුයේ නීතිමය කාරණා හේතුවෙනි.
අශෝභන ක්‍රියා
දඬුවම් නියම කිරීම සම්බන්ධ නඩුව හෙට (පෙබ 27) සිට ඇසීමට නියමිත අතර ඔහු වැරදිකරුවෙක් බවට පත්කිරීමට එරෙහිව පෙල් දැනටමත් අභියාචනාවක් ඉදිරිපත්කර ඇත.
වතිකානයේ භාණ්ඩාගාරික වශයෙන් ද කටයුතු කළ 77 හැවිරිදි ඔහු කතෝලික පල්ලිය හා සම්බන්ධ උසස් ම නිලධාරියෙකි.
තීන්දුවකට එළඹීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය වසරේ මෙම නඩුව දෙවරක් අසන ලදි.
වයස අවුරුදු 16ට අඩු ළමයෙකු සමඟ ලිංගිකව එක්වීමේ චෝදනාවට, දෙවන වර නම් කළ ජූරි සභාව විසින් ඒකමතිකව ඔහු වැරදිකරුවෙක් බවට පත් කරන ලදී.
එමෙන්ම, අවුරුදු 16ට අඩු ළමයෙකු යොදා ගනිමින් සිදු කරන ලද අශෝභන ක්‍රියා සම්බන්ධයෙන් එල්ල වූ තවත් චෝදනා හතරකට ද ඔහු වැරදි කරු විය.
අද දින උසාවියෙන් පිටතට පැමිණෙන විට මාධ්‍යවේදීන් විසින් පෙල් වට කර ගත් අතර ජනතාව ඔහුට උසුළු විසුළු කළේය.
පසුගිය වසර කිහිපය තුළදී ලොව පුරා කතෝලික පල්ලිය හා සම්බන්ධ පූජකවරුන්ට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා එල්ල විය.
එසේම සමහර සිදුවීම් හෙළිදරව් නොකළ බවටද කතෝලික පල්ලියට චෝදනා එල්ල විය.
උසාවියේදී හෙළි වුයේ කුමක්ද?
වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණයේදී හෙළි වූ කරුණු අනුව, මෙල්බර්න්හි අගරදගුරු ලෙස පෙල් කටයුතු කරන සමයෙහි, එනම් 1996 දී, අවුරුදු 13ක් වූ ළමුන් දෙදෙනෙක් දේව මෙහෙයෙන් පසුව පල්ලියේ කාමරයක සිටිනු ඔහුට හමුවී ඇත.
මේ තොරතුරුත් කියවන්න:
පසුව පල්ලිය මගින් දෙන වයින් පානය කිරීම හේතුවෙන් ඔවුන් වරදක් කර ඇති බව පවසා, ඔවුන් බිය ගන්වා එම ළමුන් දෙදෙනා බලහත්කාරයෙන් අශෝභන ක්‍රියා සඳහා යොදවා තිබෙන බව නීතිවේදීහු හෙළි කළහ.
1997 දී නැවත වරක් ඉන් එක් පිරිමි ළමයෙකු ඔහු විසින් අපයෝජනය කරනු ලැබ ඇති බවද හෙළිවිය.
අපයෝජනයට ලක් වුවා යැයි පැවසෙන එක් ළමයෙක් උසාවියේදී සාක්ෂි ලබාදුන් අතර අනෙක් පුද්ගලයා 2014 දී ඖෂධ අධිමත්‍රාවක් ගැනීම නිසා මිය ගොස් ඇත.
පූජක පෙල් ගේ නීතිඥයා වූ රොබට් රික්ටර් ගෙන ආ තර්කය වූ "වින්දිතයින් මතුකර ඇති චෝදනා මනස්ගාත" ලෙස බැහැර කළ යුතුය යන්න ජූරිය ප්‍රතික්‍ෂේප කළේය.
මේ අතර දැනට ජීවත්වන වින්දිතයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම නඩුව තමාට මානසික පීඩනයක් බවත් එය තවම නිමවී නොමැති බවත්ය.
ඔහුගේ නම හෙළිදරව් කිරීමට තවමත් අවසර නොමැත.