ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවෙකු විවාහ කර ගැනීමට සිරියාවට පලා ගිය කත

ශමීමා බෙගම්

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, ශමීමා බෙගම්

ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට එක්වීම සඳහා සිරියාවට පලාගොස් සිටින බ්‍රිතාන්‍ය කාන්තාව නැවත රට තුළට පැමිණීම වැළැක්විය හැකි බව බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා පවසයි.

සිරියාවට පලා යද්දී ඇය පාසල් ශිෂ්‍යාවක් වූවාය.

"මගේ පණිවිඩය පැහැදිලියි," යනුවෙන් පැවසු බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් සජිඩ් ජාවිඩ් තවදුරටත් කියා සිටියේ "යමෙකු විදේශගත වී ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය දුන්නේ නම්" එම තැනැත්තා නැවත බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වැළැක්වීම සඳහා තමා නොපැකිළෙන බවය.

සිරියාවට පලා ගොස් සිටින 19 හැවිරිදි ශමීමා බෙගම් මේ වනවිට ගැබිණි කාන්තාවකි.

නැගෙනහිර ලන්ඩනයේ වාසය කළ ඇය සිරියාවට පලා ගියේ 2015 දීය.

දරු ප්‍රසූතිය සඳහා

සිරියාවට පලා යාමෙන් අනතුරුව ඇයට ලැබුණු දරුවන් දෙදෙනාම රෝගාතුර වී මරණයට පත්වී ඇත.

මේවන විට ඇයගේ කුසෙහි සිටින දරුවා ප්‍රසූත කිරීම සඳහා නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමට අවශ්‍ය බව ශමීමා බෙගම් පවසන්නීය. ඇය මේ බව පවසා ඇත්තේ ටයිම්ස් පුවත්පතට ලබා දුන් සාකච්ඡාවකදී ය.

ඇය දැනට සිටින්නේ සිරියාවේ සරණාගත කඳවුරක ය.

තමන් සමඟ සිරියාවට පලා ආ මිතුරියන් දෙදෙනා බෝම්බ ප්‍රහාරයකට හසු වී සිරියාවේ දී මරණයට පත් වූ බවද ශමීමා බෙගම් පවසන්නීය.

කෙසේ වෙතත් තමා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එක්වීම පිළිබඳව පසුතැවිලි නොවන බව ඇය ප්‍රකාශ කරන්නීය.

විවාහය

ඇය සිරියාවට ඇතුළුවීමෙන් පසු රකා නුවරට ගොස් තිබේ. ඉස්ලාමීය සටන්කරුවන් විවාහ කර ගැනීම සඳහා පැමිණි තවත් ගැහැණු ළමුන් තමා රැඳී සිටි නිවසේ සිටි බව ශමීමා ප්‍රකාශ කළාය.

"ඉංග්‍රීසි කතා කරන වයස අවුරුදු 20ත් 25ත් අතර සටන්කරුවෙක් විවාහ කර ගැනීම සඳහා මම ඉල්ලීමක් කළා," ඇය පැවසුවාය.

දින 10කට පසුව ඇය විවාහ වී ඇත්තේ ඉස්ලාම් ආගම වැළඳ ගෙන සිටි ඕලන්ද ජාතිකයෙකු සමඟ ය.

එවක් පටන් ඔහු සමඟ ඇය ජීවත් වී ඇත්තේ සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ය.

එම ප්‍රදේශයේ පාලන බලය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයෙන් ගිලිහී යද්දී මෙම යුවළ මීට දෙසතියකට පෙර එම ප්‍රදේශය අතහැර පලා ගොස් ඇත.

ඇයගේ සැමියා සිරියානු සටන් කණ්ඩායමකට යටත්වීමෙන් අනතුරුව ඇය සරණාගත කඳවුරකට පැමිණ තිබේ.