චීනය: ගුවන් යානයක් අඩි විසිඑක් දහසකට වඩා පහත් කරන්නට සිදුවූ හේතු සොයති

Air China

ඡායාරූප මූලාශ්‍රය, Reuters

සහායක නියමුවා ඊ-සිගරට්ටුවක් පානය කිරීම 'එයාර් චයිනා' (Air China) ගුවන් යානය හදිස්සියේ පහතට ගැනීමට හේතුවී ඇති බව, ඒ පිලිබඳ පරීක්ෂණ පැවැත්වූ කණ්ඩායම පවසා තිබේ.

තමන් දුම් පානය කිරීම පිළිබඳ කරුණු වසන් කිරීමට සහායක නියමුවා උත්සාහ ගත බවත්, වැරදීමකින් වායුසමනය ක්‍රියා විරහිත කිරීම හේතුවෙන් ඔක්සිජන් මට්ටම පහත වැටුණු බවත් පවසා තිබෙන බව පරීක්ෂණ නිලධාරීන් පවසයි.

ගුවන් යානයක් අඩි විසිඑක් දහසකට (21 000) වඩා පහතට රැගෙන ඒමට සිදුවූ හේතු පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව චීන බලධාරීහු බ්‍රහස්පතින්දා (12) ප්‍රකාශ කළේය.

හොංකොං සිට චීනයේ ඩාලියන් (Dalian) දක්වා පියාසර කළ එයාර් චයිනා ගුවන් යානයක් නියමිත පියාසර උසේ සිට එක්වරම පහළට ගමන් කළ අතර මගීන් සඳහා ඔක්සිජන් සැපයුම් ද ක්‍රියාත්මක කෙරිණ.

පසුව නිෂ්චිත උස වෙත ලඟාවූ යනායම්, සැළසුම් කළ පරිදි ගමනාන්තය දක්වා පියාසර කළේය.

නියමුවන් දෙදෙනා නියමු කුටියේ සිට දුම් පානය කරන්නට ඇති බවත්, ඒ හේතුවෙන් වායු සැපයුම වැරදි ලෙස හසුරවන්නට ඇති බවත් චීන මාධ්‍ය අනුමාන කරයි.

මෙම සිදුවීමට බලපෑ හේතු සෙවීමට චීන ගුවන්සේවා අධිකාරිය, ගුවන් යානයේ දත්ත පටිගත කෙරෙන උපකරණය සහ නියමු කුටියේ හඬ පටිගත කිරීමේ උපකරණය යන උපකරණ දෙකම පරීක්ෂා කරමින් සිටියි.

WEIBO

ඡායාරූප මූලාශ්‍රය, WEIBO

අඟහරුවාදා (10) සිදුවූ මෙම සිදුවීම අතරතුර මගීන් සඳහා යානයේ ඔක්සිජන් සැපයුම් මුඛවාඩම් පහත වැටී තිබුණු අයුරු දැක්වෙන ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල පළකර තිබුණි.

තමන්ට ආසන බඳ පටි පළඳින ලෙස දන්වා සිටි බවත්, ගුවන් යානය පහළට ගමන් කරවන බව දැනුම් දුන් බවත් ගුවන් මගීන් කීපදෙනෙක් උපුටා දක්වමින් චීන මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානයේ අභ්‍යන්තර පීඩනය අඩුවන්නේ නම්, ගුවන් මගීන්ගේ සහ කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සඳහා යානය පහතට රැගෙන ඒමට නියමුවන්ට සිදුවේ.

සබැඳි පුවත්: