රුසියානු තරුණියන්ට උපදෙසක්: "පාපන්දු ලෝක කුසලානය අතර විදේශික පුරුෂයන් සමග ලිංගික පහස එපා"

FiFA World Cup 2018

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ අවවාදය ලබා දී ඇත්තේ රුසියානු කාන්තාවන්ටයි.

මේ දිනවල රුසියාවේ පැවැත්වෙන ජගත් පාපන්දු කුසලාන තරගාවලිය සඳහා පැමිණෙන විදේශික පුරුෂයන් සමඟ ලිංගිකව හැසිරීමෙන් වලකින මෙන් එරට මන්ත්‍රීවරියක් රුසියානු කාන්තාවන්ගෙන් කළ ඉල්ලීමක් දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.

රුසියානු කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන තමාරා ප්ලෙත්නියෝවා (Tamara Pletnyova) මොස්කව් ගුවන් විදුලියට පැවසුවේ ඇය "ජාතිකවාදියෙක් නොවන" නමුත් රුසියානු කාන්තාවන් විදේශික පුරුෂයන් සමග ලිංගිකව එක්වීමෙන් "ඔවුන්ට ලැබෙන දරුවන් දුක් විඳිනු ඇතැයි" තමන් විශ්වාස කරන බවය.

ඇය ඒ අදහස් පළ කළේ 1980 දී රුසියාවේ පැවැත්වූ ඔලිම්පික් උළෙලින් පසු රට තුළ මිශ්‍ර ජාතික දරුවන්ගේ උපත් වැඩි වූ බවට පවතින මතය පිළිබඳ විමසූ අවස්ථාවේදීය.

මෙම දරුවන් ඔවුන්ගේ විදේශික පියවරුන් විසින් "අත්හැර දමා" ඇතැයි තමාරා ප්ලෙත්නියෝවා කියා සිටියාය.

"දරුවෙකුගේ මව සහ පියා එකම ජාතියක වුණා නම් තත්වය මේ තරම් නරක වෙන්නේ නැහැ. නමුත් පියා වෙනස් ජාතියක නම්, කතාව එතනින් ඉවර වෙනවා," ඇය සඳහන් කළාය.

"දරුවන් අතහැර දමා ගිය පසු ඔවුන් සිය මව සමඟ මෙහි ජීවත් වෙනවා. අපි බිහිකරන්න ඕනෙ අපේ දරුවන්."

මේ තොරතුරුද කියවන්න:

ජාතිවාදය ඉවතලමුද?

අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනෙකු තමාරා ප්ලෙත්නියෝවාගේ ප්‍රකාශය විවේචනය කර තිබිණ. මෙවර ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ එක් ව්‍යාපෘතියක් වන ජාතිවාදය තුරන් කිරීම සහ තමාරා ප්ලෙත්නියෝවාගේ අදහස් අතර ඇති පරස්පර විරෝධී බව ඇතැමුන් හුවා දක්වා තිබිණ.

"ඇය රුසියානු පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමිය යුතුයි," යනුවෙන් එක් විවේචනයක සඳහන් විය.

FiFA World Cup 2018

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"මේ මන්ත්‍රීවරිය ප්‍රජනනය සිදු කළ හැකි වයස් මට්ටමේ පසුවන රුසියානු කාන්තාවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන්න සැරසෙනවාද?" යනුවෙන් අයෙකු ට්විටර් පණිවුඩයකින් විමසා තිබුණි.

මෙහි තිබෙන හාස්‍ය උත්පාදක කරුණ වන්නේ තමාරා ප්ලෙත්නියෝවා මින් පෙර "ජාතිකත්ව පිළිබඳ කමිටුවේ සභාපතිනිය වී සිටීමයි" යනුවෙන් තවත් ට්විටර් පණිවිඩයක සඳහන් විය.

තවත් තොරතුරු:

නමුත් සියලු අදහස් නිශේධනාත්මක වූයේ නැත.

"අපි දරාගත යුතු වන්නේ අපේම රුසියානු දරුවන්" යැයි පවසමින් එක් පුද්ගලයෙකු මන්ත්‍රීවරියගේ ප්‍රකාශයට එකඟත්වය පළ කර තිබුණි. තවත් අයෙක් අසා ඇත්තේ "ඇයගේ ප්‍රකාශයේ ඇති වැරැද්ද කුමක්ද?" යනුවෙනි.

ඒ අතර, තවත් සමහරු මන්ත්‍රීවරියගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට ඉදිරිපත් වී සිටිති.

"Pletnyova ඇතුළු ඕනෑම කෙනෙකුට සිය අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකි බව මම විශ්වාස කරනවා" යැයි එක් පුද්ගලයෙකු පවසා තිබිණි.