ඉරාන් න්‍යෂ්ටික ගිවිසුම මැරුණේ නැහැ-ප්‍රංශ විදේශ ඇමති

ඉරානය සමඟ ඇතිකර ගෙන තිබුණ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීන්දු කළත්, එය නොතකා ගිවිසුම රැක ගැනීම සඳහා දිගටම පෙනී සිටින බවට ලෝකය පුරා දේශපාලනඥයන් ප්‍රතිඥා දී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය අනුව යමින්, ඉරානයට එරෙහිව යළිත් සම්බාධක පනවන්නේ නැති බව යුරෝපා හවුල පවසයි.

ඉරාන් න්‍යෂ්ටික ගිවිසුම දිගටම පවත්වා ගතයුතු යයි චීනය සහ රුසියාව කියා සිටිති.

ඇමෙරිකාව ඉවත්ව ගියත් "ඉරාන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය අවසන් හුස්ම හෙළා නැතැයි" කියා සිටි ප්‍රංශ විදේශ ඇමතිවරයා, එම ගිවිසුම ආරක්ෂා කර ගැනීම සඳහා තමා ලබන සඳුදා බ්‍රිතාන්‍ය, ජර්මන් සහ ඉරානයේ විදේශ ඇමතිවරුන් මුණ ගැසීමට අදහස් කරන බව ප්‍රකාශයට පත් කර ඇත.

ඔබාමා පාලන සමයේ ඉරානය සමග ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් කර ගන්නා බව ප්‍රකාශයට පත් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,එම ගිවිසුම විග්‍රහ කරන ලද්දේ "දිරාපත් වූ සහ නරක් වූවක්" හැටියටය.

"පුරවැසියෙකු වශයෙන්" එය තමා "අපහසුතාවට" පත් කරන්නක් බවත් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

සිය මිත්‍ර යුරෝපා රටවල උපදේශයන්ට එරෙහිව යමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, 2015 වසරේ දී ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ඉවතලන ලද ආර්ථික සම්බාධක තමන් විසින් යළි පැනවීමට ඉඩ ඇති බවය.

ඇමෙරිකාවට ප්‍රතිචාරය දක්වමින් ඉරානය "න්‍යෂ්ටික ශක්තිය සහ න්‍යෂ්ටික අවි නිෂ්පාදනයේ ලා ප්‍රධාන සාධකයක් වන යුරේනියම් ජව ගැන්වීමේ වැඩපිළිවෙල යළි බලගන්වන" බව කියා සිටියේය.

ඉරාන ජනාධිපති හසන් රවුහානි පවසන්නේ "සිය වගකීම් සඳහා තවදුරටත් ගරු නොකරන බව එක්සත් ජනපදය නිවේදනය කර ඇති බවය".

"අවශ්‍ය වුවහොත් පියවර ගැනීම සඳහා සූදානමින් සිටින ලෙස ඉරාන න්‍යෂ්ටික බලශක්ති ආයතනයට මා නියෝග කර තිබෙනවා. ඒ අනුව අවශ්‍ය නම් සීමාවකින් තොරව කාර්මික මට්ටමින් න්‍යෂ්ටික බලගැන්වීම් යළි ආරම්භ කිරීමට අපට හැකි වේවි" ජනාධිපති හසන් රවුහානි පවසයි.

න්‍යෂ්ටික ශක්තිය සහ න්‍යෂ්ටික අවි නිෂ්පාදනයේ ලා ප්‍රධාන සාධකයක් වන යුරේනියම් ජව ගැන්වීමේ වැඩපිළිවෙල යළි බලගන්වන බවත් ඉරානය කියා සිටියි.

මිත්‍ර රටවල් සහ ගිවිසුමට අත්සන් තැබූ සෙසු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට ප්‍රථම "තවත් සති කීපයක්" තමන් සතු බව ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

"ගිවිසුමට අදාළ සෙසු සාමාජිකයන්ගේ සහයෝගය ඇතිව ගිවිසුමේ අරමුණු ළඟා කර ගැනීමට අපට හැකි වුවහොත් ගිවිසුම එලෙසම පවතීවි" ඔහු සඳහන් කළේය.

ඇමෙරිකාව න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වුනත්, සියරට සමඟ පවත්වා ගෙන පැමිණි වෙළෙඳ සබඳතා දිගටම පවත්වා ගෙන යන බවට එම ගිවිසුමට අත්සන් කළ යුරෝපා රටවල් සහතික වන්නේ නැත්නම් තමන් ගිවිසුමෙන් ඉවත් වෙන බව ඉරානයේ ඉහළම නායක අයතුල්ලා කුමෙයිනි පවසයි.

'ට්විටර්' පණිවුඩයක් මගින් කෙළින්ම ජනාධිපති ට්‍රම්ප් අමතන අයතුල්ලා කුමෙයිනි, "ට්‍රම්ප්! ඔබ අත්වැරැද්දක් සිදුකර ඇතැයි" සඳහන් කරයි.

මේ අතර ඉරාන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් න්‍යෂ්ටික ගිවිසුමේ මුද්‍රිත පිටපත්වලට ගිනි තබන ලද බවක් ද වාර්තා වෙයි.

ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා ලෝක බලවතුන්ට ඉරානයත් සමග එකඟතාවකට ළඟා වීමට හැකි වූයේ දීර්ඝ කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුවය.

'ටෙහෙරාන්' න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, චීනය හා ජර්මනිය යන "ලෝක බලවතුන්" ලෙස හැඳින්වෙන රටවල් සහ ඉරානය අතර දශකයකට අධික කාලයක් කඩින් කඩ සාකච්ඡා පැවැත්වුණ අතර එහි ප්‍රතිපලයක් වශයෙන් අදාළ ගිවිසුම අත්සන් කර ගැනීමට හැකි විය.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් එතෙක් පනවා තිබුණ ආර්ථික සම්බාධක ඉවත් කර ගැනීමටත්, ඊට හිලව් වශයෙන් ඉරාන න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කිරීමටත් තීන්දු කෙරිණ.

අදාළ ගිවිසුම මගින් ඉරානය න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කර ඇත්තේ නිශ්චිත කාලයකට පමණක් බව පවසමින් ජනාධිපති ට්‍රම්ප් ආරම්භයේදීම මැසිවිලි පළ කළේය.

බැලස්ටික් මිසයිල් අත්හදාබැලීම් නතර කිරීමට එම ගිවිසුම අසමත් වී ඇති බව ඔහුගේ අදහස වෙයි.

එතෙක් තහනම් කර තිබුණ ඩොලර් කෝටි දහදාහක් පමණ වූ ඉරාන වත්කම් න්‍යෂ්ටික ගිවිසුම අත්සන් කිරීමත් සමඟ නිදහස් කළ අතර, එම මුදල් "මැදපෙරදිග කලාපයේ අවි බෙදා හැරීම සහ ත්‍රස්තවාදය සඳහා" යොදා ගෙන ඇති බවට ජනාධිපති ට්‍රම්ප් චෝදනා කරයි.

මෙයින් වසර තුනකට පෙර 2015 දී ඇමරිකාව වෙනුවෙන් අදාළ ගිවිසුමට අත්සන් තැබූ හිටපු ජනාධිපති බරක් ඔබාමා පවසන්නේ, ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශ "නොමඟ යවන සුළු" බවය.

ගිවිසුමට බාධා එල්ල නොකරන ලෙස එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය ඇමරිකාවෙන් ඉල්ලා ඇත.