ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශය අප්‍රසන්නයි-ඉරානය
ටෙහෙරාන් අගනුවර එල්ල කෙරුණ සන්නද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දක්වන ලද ප්‍රතිචාරය අප්‍රසන්න වූවක් බව ඉරානයේ විදේශ ඇමති මොහොමඩ් ජාවඩ් ෂරීෆ් ( Mohammad Javad Zarif) කියා සිටියි.
ඉරාන් පාර්ලිමේන්තුව සහ අයතොල්ලා කුමෙයිනි සමාධිය ඉලක්ක කර ගනිමින් පසුගියදා එල්ල කෙරුණ ප්‍රහාරයේ දී දහතුන් දෙනකු මරා දැමුණි.
ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව පළකරණ අතරම 'ත්‍රස්තවාදයට අනුග්‍රහ දක්වන රටවල් තමන් විසින්ම බල ගන්වන ලද බලවේගයන්හි ගොදුරු බවට පත්වීමේ අන්තරායක් ඇති' බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමක් ද කළේය.
ඉන් අනතුරුව 'ට්විටර්' පණිවුඩයක් මගින් අදහස් දක්වන ඉරාන් විදේශ ඇමතිවරයා, කලාපයේ සිය ප්‍රතිවාදියා වන සෞදි අරාබිය පිළිබඳව ද සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ගනුදෙනුකාර අනුග්‍රාහකයන්ගේ උදව් ලබන ත්‍රස්තවාදයට ඉරානය මුහුණ දෙමින් සිටින බව කියා සිටියේය.
ටෙහෙරාන් පාර්ලිමේන්තුව සහ කුමෙයිනි සමාධියට එල්ල කරන ලද ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් භාරගනු ලැබ ඇත.
IS සංවිධානය විසින් ප්‍රහාරයට වගකිව යුත්තන් රට තුළින්ම බඳවා ගනු ලැබ ඇතිබව ඉරානයේ ඔත්තු අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.