පුතින්ගේ ඊළඟ පිම්ම යාවජීව ජනපති සිහිනයද?

සිව්වෙනි වරටත් ජනපති පදවිය දිනාගත් පුතින් සමස්ත රුසියාවේ සමාජය කෙරෙහි ඇති කරන බලපෑම නිරූපණය කෙරෙන නිර්මාණයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිව්වෙනි වරටත් ජනපති පදවිය දිනාගත් පුතින් සමස්ත රුසියාවේ සමාජය කෙරෙහි ඇති කරන බලපෑම නිරූපණය කෙරෙන නිර්මාණයක්

රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින් සිව්වෙනි වතාවටත් තවත් වසර හයක කාලයක් සඳහා පාලන බලයේ තහවුරු කෙරුණ ඉරිදා (මාර්තු 18) ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර පළවෙමින් පවතී.

රුසියාවේ මැතිවරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිල ප්‍රතිඵල අනුව ඉරිදා පැවැත්වුන ජනාධිපතිවරණයෙන් ව්ලදිමීර් පුතින් වෙනුවෙන් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 76% කි.

පුතින් සිය ප්‍රධාන ප්‍රතිවාදී විපක්ෂ නායක අලෙක්සි නවල්නි (Alexei Navalny) තරඟයෙන් ඉවත් කොට මාර්තු 18 වෙනිදා පැවැත්වූ ජනාධිපතිවරණය 'තනි පුද්ගලයකුගේ ධාවන තරඟයකට' සමාන බව බටහිර විවේචකයෝ පවසති.

මොස්කව් පාලනයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන අලෙක්සි නවල්නි මූල්‍ය අපරාධ චෝදනා යටතේ නුසුදුස්සකු බවට පත් කරනු ලැබ මෙම ජනාධිපතිවරණයෙන් ඈත් කරනු ලැබ සිටි අතර, පුතින්ගේ තරඟය නිල මට්ටමින් පැවතුණේ දුර්වල අපේක්ෂකයන් හත් දෙනකු සමඟය.

ප්‍රකාශිත ප්‍රතිපල අනුව පුතින්ට කිට්ටුම අපේක්ෂකයා වන කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂක පාවෙල් ගෘඩිනින් ( PAVEL GRUDININ) ලබා ඇත්තේ 12% කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් පමණි.

දශක දෙකකට ආසන්න කාලයක් රුසියාව පුතින් හස්තය යටතේ පාලනය වෙයි
ඡායාරූප ශීර්ෂ වැකිය, දශක දෙකකට ආසන්න කාලයක් රුසියාව පුතින් හස්තය යටතේ පාලනය වෙයි

ජනාධිපති පුතින් ප්‍රකාශිත ඡන්දවලින් 76.68% ක් ලබා ගනිද්දී ධන කුවේරයකු වන කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයා 11.78% ක් ඡන්ද ලබා ඇත.

ජනාධිපති පදවිය සඳහා නැවත වතාවක් තරඟ වැදුණ 'රුසියානු ජාතිකවාදී' දේශපාලනඥයකු වන ව්ලදිමීර් ෂිරිනොව්ස්කි මෙවර ලබා ඇත්තේ දෙන ලද ඡන්දවලින් 5.65% ක් පමණි.

විපක්ෂ නායක අලෙක්සි නවල්නි (Alexei Navalny ) ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම ඡන්දය වර්ජනය කරන ලෙස සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි.

තමාට එරෙහි චෝදනා දේශපාලන යටි අරමුණු අනුව ක්‍රෙම්ලිනය විසින් ගොතන ලද ඒවා බවට විපක්ෂ නායකයා චෝදනා කරයි.

බටහිර නිහඬයි

චීනය,කසක්ස්තාන්,බෙලරුසියා,වෙනිසියුලා,බොලීවියා,සහ කියුබාව වැනි රටවල රාජ්‍ය නායකයන් ජනාධිපති පුතින්ට ශුභ පැතුම් පිරිනමද්දී ඒ සම්බන්ධයෙන් බොහෝ බටහිර රටවල දක්නට ලැබෙන්නේ නිහඬව සිටීමේ පිළිවෙතකි.

ඇමෙරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කළ බවට රුසියාවට චෝදනා එල්ල වෙයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කළ බවට රුසියාවට චෝදනා එල්ල වෙයි

පුතින් වෙනුවෙන් ශුභ පැතුම් යවන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping ) චීන - රුසියා ද්විපාර්ශ්වීය සබඳතා දෙරට ඉතිහාසයේ ඉහළම මට්ටමට දැන් ලඟා වී ඇතැයි පවසයි.

චාන්සලර් ඇන්ජෙලා මර්කල්(Angela Merkel) රුසියාවේ ජනාධිපතිවරයාට ශුභ පැතීමට බලාපොරොත්තු වෙන බව ඇයගේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇති නමුත්, රුසියාවේ හිටපු ඔත්තුකරුවකුට එක්සත් රාජධානියේ දී විෂ රසායන ප්‍රහාරයක් එල්ල කරනු ලැබීම මුල්කර ගනිමින් මතුව පවතින අර්බුදකාරී පසුබිම යටතේ බටහිර ලෝකයේ සෙසු රාජ්‍ය නායකයන් තවමත් එවැනි පියවරක් සඳහා යොමුව නැත.

"අපට රුසියාවත් සමඟ මතභේද තියෙනවා. යුක්‍රේන් සහ සිරියාව සම්බන්ධයෙන් රුසියාව අනුගමනය පිළිවෙතට අපි විරුද්ධයි. ඒත් චාන්සලර්වරිය විදුලි පණිවුඩයක් මගින් ජනාධිපති පුතින්ට ශුභ පතන්න බලාපොරොත්තු වෙනවා" ජර්මන් චාන්සලර්වරියගේ ප්‍රකාශක ස්තෙඵාන් සීබට් (Steffen Seibert) පවසයි.

යුරෝපා හවුලේ විදේශ ඇමති සාකච්ඡාවකට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි එම හවුලේ විදේශ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ෆෙඩ්රිකා මොඝෙරිණි(Federica Mogherini) රුසියානු ඔත්තුකරුට විස ප්‍රහාරයක් එල්ල කරනු ලැබීම "කිසිසේත්ම අනුමත කළ නොහැකි"ක්‍රියාවක් ලෙස හෙළා දුටුවාය.

එම විස රසායන ප්‍රහාරයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය -රුසියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිරිහෙමින් පවතින අතර බ්‍රිතාන්‍යය රුසියාවේ තානාපති නිලධාරීන් විසිතුන් දෙනකු නෙරපීමට පියවර ගත් අතර ඊට එකට එක කිරීමක් වශයෙන් රුසියාවත් බ්‍රිතාන්‍ය තානාපති නිලධාරීන් විසිතුන් දෙනකු එරටින් නෙරපීමට පියවර ගෙන ඇත.

බ්‍රිතාන්‍ය රජය එම ප්‍රශ්නයේ දී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයත් ඔවුන්ගේ සහයෝගය පළ කරයි.

2018 මාර්තු 18 ඡන්ද මධ්‍යස්ථානයක දර්ශනයක්- ළමුන් බැලුන්බෝල සෙල්ලමේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 2018 මාර්තු 18 ඡන්ද මධ්‍යස්ථානයක දර්ශනයක්- ළමුන් බැලුන්බෝල සෙල්ලමේ

සාධාරණ ඡන්දයක්ද?

මොස්කව් නගරයේ දී සිය ඡන්දදායකයන් අමතා කතා කළ ජනාධිපති පුතින් "පසුගිය වසර කීපය ඇතුළත ලද ජයග්‍රහණ මහජනයා විසින් අනුමත කරනු ලැබ ඇතැයි" සඳහන් කළේය.

එහෙත් එම ඡන්දය දිනා ගෙන ඇත්තේ මැතිවරණ දූෂණ මගින් බවට චෝදනා එල්ල වෙමින් පවතී.

ඇතැම් පළාත්වල ඡන්ද මධ්‍යස්ථාන අවට නොමිලේ ආහාරපාන බෙදාදීම සහ වෙළෙඳසැල් සහන මිලට භාණ්ඩ අලෙවි කළ බවට චෝදනා ඉදිරිපත් වෙමින් ඇත.

මේ අතර නගර සහ උපනගර රාශියක ඡන්ද දූෂණ සිදු කෙරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට ප්‍රචාරයට පත් කෙරෙමින් ඇති අතර නිලධාරීන් විසින් ඡන්ද පත්‍රිකා මගින් ඡන්ද පෙට්ටි පුරවන ආකාරය ඇතැම් වීඩියෝ පටවල දැක්වෙයි.

'ගෝලෝස්' (Golos) ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන් ඡන්දය පැවැත්වුන දිනයේ ප්‍රකාශයක් කරමින් මැතිවරණ වැරදි ක්‍රියා සිය ගණනක් වාර්තා වූ බව කියා සිටියේය

ක්‍රෙම්ලිනයට ගිය ජූඩෝ ක්‍රීඩකයා

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රෙම්ලිනයට ගිය ජූඩෝ ක්‍රීඩකයා

සයිබිරීයාවේ 'කෙමරෝවා' (Kemerovo) නගරයේ සිදුවීම් ඇතුළත් වීඩියෝ පටයක් එම මැතිවරණ නිරීක්ෂකයන් විසින් ප්‍රචාරයට පත්කර ඇති අතර, ඡන්ද මධ්‍යස්ථාන අසල බැලුන්බෝල (balloons) සහ වෙනත් දේවල් උපයෝගී කර ගනිමින් සිදු කරන ලද බාධා කිරීම් එහි දැක්වෙයි.

එහෙත් 2012 ජනාධිපතිවරණයට සාපේක්ෂව බලන විට බරපතළ ක්‍රියා සිදුව නැති බව මධ්‍යම මැතිවරණ කොමිසමේ ප්‍රධානී එලා පැම්ෆිලෝවා(Ella Pamfilova) පවසන්නීය.

මාර්තු 18 මෙවර ජනාධිපතිවරණය පැවැත්වුණේ, යුක්‍රේනය සතුව පැවති ක්‍රිමියාව රුසියාව විසින් අත්පත් කර ගනු ලැබීමේ පළමු සංවත්සරය උදාවීමත් සමඟය.

එතැන් පටන් යුක්‍රේන්- රුසියා සබඳතා ගැටුම්කාරී තත්වයකට පත්ව ඇති අතර යුක්‍රේන්හි වෙසෙන රුසියාවේ පුරවැසියන් ජනාධිපතිවරණයේ දී ඡන්දය දීම සඳහා අගනුවර පිහිටි තානාපති කාර්යාල කරා යාමේ දී 'කීව්' බලධාරීන් විසින් ඔවුන්ට බාධා කරන ලද බවක් ද වාර්තා වෙයි.

පුතින් කව්ද ?

මේවනවිට හැටපස් වෙනි වියේ පසුවෙන ව්ලදිමීර් ව්ලදිමීරොවිච් පුතින් සෝවියට් පාලන සමයේ KGB ඔත්තු අංශයේ නිරත නිලධාරියකු විය.

සෝවියට් රාජ්‍ය ඔත්තු අංශයේ ලුතිනන් කර්නල්වරයකු වූ පුතින් 1975 පටන් 1991 දී සෝවියට් සංගමය බිඳ වැටෙන අවධිය තෙක් එම රැකියාව දරා ඇත.

ඔහු කෘතහස්ත අශ්වාරෝහකයෙකි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔහු කෘතහස්ත අශ්වාරෝහකයෙකි

එකී සිය වෘත්තීය ජීවිතයෙන් වැඩි කාලයක් පීටර්ස්බර්ග් ( සෝවියට් පාලන සමයේ ලෙනින්ග්‍රාද්) නගරයේ කටයුතු කළ පුතින් KGB ඔත්තු අංශයේ නිලයෙන් ඉවත්වීමෙන් අනතුරුව එහි නාගරික පාලන මණ්ඩලයේ ඉහළ පදවි රැසක් දරා ඇති අතර ඔහු නියෝජ්‍ය අගමැති පදවියකු හැටියට පළමු වරට පත්කරන ලද්දේ හිටපු ජනාධිපති බොරිස් යෙල්ත්සින් විසිනි.

1999 අගෝස්තු මාසයේ 'දූමාව' විසින් (රුසියාවේ ව්‍යවස්ථාදයකමණ්ඩලය) පුතින් අගමැති පදවියේ පිහිටුවන ලද අතර 1999 වර්ෂය අවසාන භාගයේ ජනාධිපති යෙල්ත්සින් අනපේක්ෂිත මොහොතක පදවියෙන් ඉවත්වීමත් සමඟ පුතින් වැඩබලන ජනාධිපති පදවියට පත් කරනු ලැබුණි.

1999 පටන් 2002 තෙක් ඔහු කටයුතු කරන ලද්දේ වැඩබලන ජනාධිපතිවරයා ලෙසය.

2002 -04 පුතින්ගේ පළමු ජනාධිපති නිල කාලයයි.

පුතින් දෙවතාවක් ජනාධිපති පදවිය දැරීමෙන් අනතුරුව එවකට බල පැවැත්වුන ව්‍යවස්ථාව අනුව ඔහුට යළිත් එම පදවියට පත්වීමට නෛතික බාධාවක් පැවති හෙයින් ඔහුගේ සගයකු වූ දිමිත්‍රි මෙද්වෙදෙෆ් (Dmitry Medvedev ) අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්කර ගනු ලැබුණි.

කලින් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව එක් තැනැත්තකුට රුසියාවේ ජනාධිපති පදවියට පත්විය හැකි වුණේ දෙවතාවක් පමණි.

ඒ අතරවාරයේ එම සීමාව ඉවත් කෙරෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගනිමින් (පසුගියදා චීනය සිදු කරන ලද ආකාරයට) 2012 වසරේ නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්ව ජයගත් පුතින් විසින් එතෙක් ජනාධිපති පදවියේ සිටි දිමිත්‍රි මෙද්වෙදෙෆ් (Dmitry Medvedev ) සිය අගමැතිවරයා හැටියට පත්කර ගනු ලැබුණි.

රුසියාවේ ඔතඩොක්ස් ආගමික ආශීර්වාදය ලබමින්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියාවේ ඔතඩොක්ස් ආගමික ආශීර්වාදය ලබමින්

දිමිත්‍රි මෙද්වෙදෙෆ් ජනාධිපති පදවියේ කටයුතු කළ කාලය තුළ අගමැති පදවිය දරමින් එම කාලය තුළත් රුසියාව පාලනය කරන ලද්දේ ව්ලදිමීර් පුතින් විසිනි.

ඒ අනුව 1999 පටන් එක්කෝ ජනාධිපතිවරයා හැටියට නැත්නම් අගමැතිවරයා හැටියට පසුගිය දශක දෙකකට ආසන්න සමස්ත කාලය තුළ රුසියාව පාලනය වී ඇත්තේ ව්ලදිමීර් පුතින්ගේ හස්තය යටතේය.

සිව්වෙනි වරටත් බලය දිනාගත් පුතින් ප්‍රකාශයක් කරමින්,අගමැති පදවිය ද ඇතුළුව තම නව ආණ්ඩුවේ වෙනසක් සිදු කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇත.

ලෝකය බලා සිටින්නේ පුතින්ගේ මීලඟ පියවර දෙසයි.

සබැඳි පුවත්;