හිටපු රහස් ඔත්තුකරු සහ ඔහුගේ දියණියට රුසියාව වස දුන්නාද?

ඡායාරූප මූලාශ්‍රය, YULIA SKRIPAL/FACEBOOK
එක්සත් රාජධානියේ 'සැලිස්බරි' නගරයේ ජීවත් වූ රුසියාවේ හිටපු රහස් ඔත්තුකරුවෙකු සහ ඔහුගේ දියණිය හිටි අඩියේම විෂක් ශරීරගත වීමෙන් දැඩි ලෙස රෝගාතුරව රෝහල් ගත කරනු ලැබ අසාධ්‍ය තත්වයේ පසුවෙති.
එම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් බ්‍රිතාන්‍ය පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
බ්‍රිතාන්‍ය රජයට සම්බන්ධ සමහර පිරිස් මෙම අපරාධය පිළිබඳ රුසියාවට චෝදනා එල්ල කළත්, සිය පැරණි ඔත්තුකරු සහ ඔහුගේ දියණිය රෝගාතුර වීමට සම්බන්ධ බවට එල්ලවන චෝදනා මොස්කව් පාලනය විසින් බැහැර කරනු ලබයි.

රුසියානු හිටපු ඔත්තුකරුගේ දියණිය යූල්යාගේ යෙහෙළියක පවසා සිටියේ "ඇයට මෙවැනි දඬුවමක් දෙන්න තරම් ඇය මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ," යනුවෙනි.
හැටහය හැවිරිදි සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ ඔහුගේ තිස්තුන් හැවිරිදි දියණිය යූල්යා (Yulia) පසුගියඉරිදා සන්ධ්‍යාවේ සොයාගනු ලැබුණේ සැලිස්බරි නගරයේ 'මැල්ටින්ග්ස්' (Maltings) සාප්පු සංකීර්ණය ඉදිරිපිට බංකුවක් මත සිහිසුන්ව වැටී සිටියදීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ස්ක්‍රිපාල් පවුල ගැන සිහිපත් කරන යූල්යා කුඩා කළ පටන් ඇසුරු කළ යෙහෙළිය අයිරිනා පෙට්‍රෝවා ඔවුන් හඳුන්වන්නේ "සම්පූර්ණ පවුලක්" ලෙසය.
නමුත් ඔවුන් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට මිනිසුන් මැලි වූ බව ඇය පැවසුවාය.
"මටත් දැන් බය හිතෙනවා. ඔවුන් ගැන කතා කරන්න හැමෝම බයයි, ඔවුන්ගේ ඥාතීන් පවා," ඇය පැවසුවාය.
මීට සතියකට පමණ ඉහතදී, යූල්යා සහ ඇයගේ පියා සාප්පු සංකීර්ණයක් ඉදිරිපිට බංකුවක සිහිසුන්ව ඇද වැටී සිටියහ. ඉන් අනතුරුව රෝහල්ගත කෙරුණු ඔවුන් දෙදෙනා තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙම අධික විෂ වර්ගය ඔවුන්ගේ ස්නායු පද්ධතියට ඍජුව බලපා ඇති බවට තොරතුරු හෙළි වෙයි. ගෑස්, කුඩු ලෙස හෝ දියරයක් ලෙස මෙම විෂ ශරීර ගත වන්නට ඇතැයි සැක පහළ කර ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇති අතර, ස්වදේශ කටයුතු භාර ලේකම් ඇම්බර් රඩ් ගේ ප්‍රධානත්වයෙන් "කෝබ්රා" නම් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඉහළම හදිසි ආරක්ෂක කමිටුව ද රැස්වීමට නියමිතව ඇත.
සබැඳි තොරතුරු:
"ඔවුන්ට ගොඩක් ඥාතීන් නැහැ" පෙට්‍රෝවා තව දුරටත් පැවසුවාය.
යූල්යා මොස්කව් නුවර සිට බ්‍රිතාන්‍යයට පැමිණ ඇත්තේ තම පියා බැහැ දැකීමටය. ඇය රැකියාවේ නිරත වී ඇත්තේ Nike, PepsiCo වැනි ජාත්‍යන්තර සමාගම් වල බව මිතුරෝ පවසති.
ඇයගේ මව, මාමා මෙන්ම වැඩිමහල් සහෝදරයා ද පසුගිය කාලයේ මරණයට පත්වූ අතර එම මරණ පිටුපස ද රහසක් ඇතැයි පවුලේ සෙසු සාමාජිකයෝ සැක කරති.

ඡායාරූප මූලාශ්‍රය, EPA/YULIA SKRIPAL
මේ තොරතුරුද කියවන්න:
කව්ද මේ ස්ක්‍රිපාල් පවුල?
කර්නල් ස්ක්‍රිපාල් රුසියාවේ බුද්ධි අංශයේ හිටපු රහස් ඔත්තුකරුවෙකි.
රුසියානු බුද්ධි අංශයේ කටයුතු කරමින් සිටියදීම බ්‍රිතාන්‍යයටත් ඔත්තු සැපයීම සම්බන්ධයෙන් 2006 වසරේ ඔහු වරදකරු කරනු ලැබුණි. සිරගත වී වසර හතරකට පසු රහස් ඔත්තුකරුවන් හුවමාරු ක්‍රමය යටතේ ස්ක්‍රිපාල් නිදහස් කර ඇත.
කර්නල් ස්ක්‍රිපාල් 2010 වසරේ සිට එක්සත් රාජධානියේ රජයේ රැකවරණය ලබමින් ජීවත් විය. ඔහුගේ දියණිය යූල්යා වසර පහකට ආසන්න කාලයක් තම පියා සමග ජීවත් වුවත්, "ඇයට එංගලන්තයේ නවතින්න ඕනෙ වුණේ නැහැ" බව යෙහෙළියක් පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, BBC
එක්සත් රාජධානියේ ගත කළ ජීවිතය ප්‍රිය කළ යූල්යා, බ්‍රිතාන්‍යය රියදුරු බලපත්‍රය පවා ලබා ගත් බව පෙට්‍රෝවා සඳහන් කළාය.
ඇය පෙරළා මොස්කව් නුවරට ගොස් ඇත්තේ බොහෝ කලක සිට හඳුනන පෙම්වතා සමග ජීවත් වීමටය. යූල්යා මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයක භූගෝල විද්‍යාව හදාරමින් සිට ඇත.
යූල්යා සහ ඇයගේ පියා අතර "විශිෂ්ට" සම්බන්ධයක් තිබූ බවත් පෙට්‍රෝවා පැවසුවාය.
කර්නල් ස්ක්‍රිපාල්ගේ පුත් හතළිස් තුන් වියැති අලෙක්සන්දර් ස්ක්‍රිපාල් ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ දී අක්මා රෝගයකින් මරණයට පත්විය. එම මරණය පිළිබඳවත් පවුලේ ඥාතීන් අතර පවතින්නේ සැකයකි.

තමන්ගේ පියා අත්අඩංගුවට ගත් බව රූපවාහිනියෙන් දුටුවත්, යූල්යා "කවදාවත් එයාගේ ප්‍රශ්න ගැන කතා කළේ නැහැ," පෙට්‍රෝවා තවදුරටත් පැවසුවාය.
සැලිස්බරි නගරයේ පිහිටි කර්නල් ස්ක්‍රිපාල්ගේ සහෝදරයා, බිරිඳ සහ පුතාගේ සොහොන් කොත්වලට මේ වන විට ආරක්ෂාව සපයා ඇත.
කර්නල් ස්ක්‍රිපාල්ගේ බිරිඳ, ලුද්මිලා 2012 වසරේ පිළිකා රෝගයට ගොදුරුව මරණයට පත්වූවාය.








