ඔත්තුකරුවන්ට වස දීම: බ්‍රිතාන්‍යය, රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් පිටුවහල් කරයි

ඡායාරූප මූලාශ්‍රය, EPA/ YULIA SKRIPAL/FACEBOOK
සැලිස්බරි ප්‍රදේශයේ දී හිටපු රුසියානු රහස් ඔත්තුකරුවෙකුට වස දීම පිණිස රුසියාවේ නිෂ්පාදිත විෂ වර්ගයක් භාවිතා කළේ කෙසේ දැයි පැහැදිලි කිරීම රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 23 දෙනෙකු රටින් පිටුවහල් කරන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පවසයි.
"හෙළිදරවු නොකළ රහස් ඔත්තු නිලධාරීන්" ලෙසින් හඳුනාගන්නා ලද එම රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිස සතියක් ඇතුළත රටින් පිටවිය යුතු බව ද අගමැතිනිය සඳහන් කළාය.
බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන මෙන් රුසියාවේ විදේශ ඇමතිවරයාට කර තිබුණ ආරාධනයක් අවලංගු කළ අගමැතිවරිය, බ්‍රිතාන්‍ය රජ පවුලේ කිසිදු සාමාජිකයෙකු මේ වසර අගදී රුසියාවේ පැවැත්වීමට නියමිත පාපන්දු ජගත් කුසලානයට සහභාගි නොවන බව ද සඳහන් කළාය.
හිටපු කේජීබී නිලධාරියෙකු වන සෙර්ගේයි ස්ක්‍රිපාල්ට (Sergei Skripal) වස දුන් බවට එල්ලවන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි.
එබැවින් රාජ්‍යතාන්ත්‍රිකයන් 23 දෙනා පිටුවහල් කිරීම "පිළිගත නොහැකි, අසාධාරණ සහ අදූරදර්ශී," ක්‍රියාවක් බව ද ලන්ඩන් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය නිවේදනය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, PA
ද්විත්ව ඒජන්තයෙකු වූ අලෙග් ගොර්දියෙව්ස්කි (Oleg Gordievsky) 1985 දී පලා ගිය අවස්ථාවේ රුසියානු තානාපති නිලධාරීන් 31 දෙනෙකු බ්‍රිතානයෙන් පිටුවහල් කරන ලද අතර, ඉන් අනතුරුව පිටුවහල් කෙරෙන විශාලතම රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් කණ්ඩායම මෙය වේ.
හැටහය හැවිරිදි ස්ක්‍රිපාල් සහ ඔහුගේ තිස්තුන් හැවිරිදි දියණිය යූල්යා (Yulia) පසුගිය ඉරිදා සන්ධ්‍යාවේ සොයාගනු ලැබුණේ සැලිස්බරි නගරයේ 'මැල්ටින්ග්ස්' (Maltings) සාප්පු සංකීර්ණය ඉදිරිපිට බංකුවක් මත සිහිසුන්ව වැටී සිටියදීය.
එහිදී රෝහල්ගත කෙරුණු ඔවුන් දෙදෙනා තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති.
මෙම අධික විෂ වර්ගය ඔවුන්ගේ ස්නායු පද්ධතියට ඍජුව බලපා ඇති බව විශ්වාස කෙරේ. ගෑස්, කුඩු ලෙස හෝ දියරයක් ලෙස මෙම විෂ ශරීර ගත වන්නට ඇතැයි සැක කෙරේ.
පරීක්ෂණය සම්බන්ධයෙන් සහයෝගය දෙන මෙන් කළ ඉල්ලීම මොස්කව් පලානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුව රුසියාවට "පැහැදිලි පණිවුඩයක්" ලබාදීම පිණිස පියවර ගණනාවක්ම බ්‍රිතාන්‍ය අගමැතිනිය නිවේදනය කළාය.
- රාජ්‍යතාන්ත්‍රිකයන් 23 දෙනා පිටුවහල් කිරීම
- පුද්ගලික ගුවන් යානා සඳහා කෙරෙන පරීක්ෂා දැඩි කිරීම
- බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ ජීවිතවලට හෝ දේපොළවලට තර්ජනයක් විය හැකි ආකාරයට යොදාගත හැකි යයි විශ්වාස කෙරෙන රුසියානු රාජ්‍යයට අයත් වත්කම් තහනම් කිරීම
- බ්‍රිතාන්‍ය අමාත්‍යවරුන් සහ රජ පවුලේ සාමාජිකයන් පාපන්දු ලෝක කුසලානය වර්ජනය කිරීම
- දැනට සැලසුම් කර තිබෙන බ්‍රිතාන්‍යය සහ රුසියාව අතර සියලුම ඉහළ පෙළේ ද්විපාර්ශ්වික හමුවීම් අවලංගු කිරීම
- "සතුරු රාජ්‍යවල ක්‍රියාකාරකම්" සම්බන්ධයෙන් ආරක්ෂාව තරකිරීම පිණිස නව නීති සම්පාදනය සලකා බැලීම
ඒ අතර වේ.
කව්ද මේ ස්ක්‍රිපාල් පවුල?
කර්නල් ස්ක්‍රිපාල් රුසියාවේ බුද්ධි අංශයේ හිටපු රහස් ඔත්තුකරුවෙකි.
රුසියානු බුද්ධි අංශයේ කටයුතු කරමින් සිටියදීම බ්‍රිතාන්‍යයටත් ඔත්තු සැපයීම සම්බන්ධයෙන් 2006 වසරේ ඔහු වරදකරු කරනු ලැබුණි. සිරගත වී වසර හතරකට පසු රහස් ඔත්තුකරුවන් හුවමාරු ක්‍රමය යටතේ ස්ක්‍රිපාල් නිදහස් කර ඇත.
කර්නල් ස්ක්‍රිපාල් 2010 වසරේ සිට එක්සත් රාජධානියේ රජයේ රැකවරණය ලබමින් ජීවත් විය. ඔහුගේ දියණිය යූල්යා වසර පහකට ආසන්න කාලයක් තම පියා සමග ජීවත් වුවත්, "ඇයට එංගලන්තයේ නවතින්න ඕනෙ වුණේ නැහැ" බව යෙහෙළියක් පැවසුවාය.

එක්සත් රාජධානියේ ගත කළ ජීවිතය ප්‍රිය කළ යූල්යා, බ්‍රිතාන්‍යය රියදුරු බලපත්‍රය පවා ලබා ගත් බව පෙට්‍රෝවා සඳහන් කළාය.
ඇය පෙරළා මොස්කව් නුවරට ගොස් ඇත්තේ බොහෝ කලක සිට හඳුනන පෙම්වතා සමග වාසය කිරීමටය. යූල්යා මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයක භූගෝල විද්‍යාව හදාරමින් සිට ඇත.
යූල්යා සහ ඇයගේ පියා අතර "විශිෂ්ට" සම්බන්ධයක් තිබූ බවත් පෙට්‍රෝවා පැවසුවාය.
කර්නල් ස්ක්‍රිපාල්ගේ පුත් හතළිස් තුන් වියැති අලෙක්සන්දර් ස්ක්‍රිපාල් ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ දී අක්මා රෝගයකින් මරණයට පත්විය. එම මරණය පිළිබඳවත් පවුලේ ඥාතීන් අතර පවතින්නේ සැකයකි.

තමන්ගේ පියා අත්අඩංගුවට ගත් බව රූපවාහිනියෙන් දුටුවත්, යූල්යා "කවදාවත් එයාගේ ප්‍රශ්න ගැන කතා කළේ නැහැ," පෙට්‍රෝවා තවදුරටත් පැවසුවාය.
සැලිස්බරි නගරයේ පිහිටි කර්නල් ස්ක්‍රිපාල්ගේ සහෝදරයා, බිරිඳ සහ පුතාගේ සොහොන් කොත්වලට මේ වන විට ආරක්ෂාව සපයා ඇත.
කර්නල් ස්ක්‍රිපාල්ගේ බිරිඳ, ලුද්මිලා 2012 වසරේ පිළිකා රෝගයට ගොදුරුව මරණයට පත්වූවාය.
සබැඳි වාර්තා:








