"වෛරී ප්‍රකාශන අධීක්ෂණයට උපකාර කරන්න": ෆේස්බුක් සමාගමෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්

facebook

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ෆේස්බුක් සමාජ ජාලය තුළ සිංහල භාෂාවෙන් පළකෙරෙන වෛරී ප්‍රකාශන නිරීක්ෂණය සහ වාර්තා කිරීම පිණිස උපකාර කරන්නැයි ෆේස්බුක් සමාගම තමන්ගෙන් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකාවේ සමාජ ජාල විශ්ලේෂකයන් පිරිසක් පවසති.

යුධන්ජය විජේරත්න, ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ සම කර්තෘ සංජන හත්තොටුව සහ තමන් සමග සමග සිකුරාදා (මාර්තු 16) උදෑසන ෆේස්බුක් නියෝජිතයන් තිදෙනකු සමග පැවති සමූහ දුරකථන සංවාදයකදී එම ඉල්ලීම කෙරුණු බව සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

"එතෙන්දි ෆේස්බුක් වේදිකාව මහජන යහපතට, පොදු උන්නතියට භාවිත කිරීමේ ලොකු උනන්දුවක් තිබෙන අප තිදෙනා ස්වේච්ඡාවෙන්ම කැමති වුනා එවැනි කර්තව්‍යයක් සඳහා අපට දිය හැකි සහයෝගය දෙන්නට," යනුවෙන් නාලක ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

"ඒ කියන්නේ දැනට තියන යම් යම් අඩු පාඩු මග හරවාගෙන, ඉදිරියේදී වෛරී ප්‍රකාශ ඉක්මනින් හඳුනා ගන්නට, ඒ පිළිබඳ ෆේස්බුක් පරිපාලනයට වාර්තා කරන්නට වඩාත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් බිහි කරන්නට උදව් වෙනවා කියල අපි කිව්වා."

වෛරී ප්‍රකාශ ගැන තවත් වාර්තා:

ෆේස්බුක් ජාලයේ ප්‍රකාශයට පත්වන වෛරී අදහස් ඉවත් කිරීම සිදුවන්නේ ඉතා මන්දගාමීව බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු ද මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

"ෆේස්බුක් එක කියනවා, සිංහල පරිවර්තකයන් අඩු නිසා ඔවුන්ට යම් කාලයක් අවශ්‍ය බව," යනුවෙන් ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේය.

ෆේස්බුක් ආයතනය එම ගැටලුව තමන් සමග පැවති සාකච්ඡාවේදීත් පෙන්වා දුන් බව සඳහන් කළ නාලක ගුණවර්ධන කියා සිටියේ "ඒ හිඩැස පුරවා ගැනීමට ඔවුන්ට ලොකු ඕනෑකමක් තිබෙන," බවය.

ඒ සඳහා නව කාර්ය මණ්ඩලයක් බඳවා ගන්නා අතරම ස්වෙච්ඡා කණ්ඩායම්වල සේවය ලබාගැනීම ද සමාජ මාධ්‍ය ජාල ආයතනයේ අපේක්ෂාව වී තිබේ.

'සෑහීමකට පත්වෙන්න බෑ'

කෙසේ වුවත් වෛරී ප්‍රකාශන පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කරන අවස්ථාවල සමාගමේ ප්‍රතිචාරය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව යුධන්ජය විජේරත්න, සංජන හත්තොටුව සහ තමන් ෆේස්බුක් සමාගමට පෙන්වා දුන් බව පවසන නාලක ගුණවර්ධන "එහි අඩු පාඩු සිදු වී ඇති බව ඔවුනුත් පිළිගත්තා" යනුවෙන් ද සඳහන් කළේය.

මේ අතර වෛරී ප්‍රකාශනවලට වැට බැඳීම පිණිස නව නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම නීතිය හා සාමය භාර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ද මීට ඉහතදී පෙන්වා දී තිබේ.

ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය නොකරමින් වෛරී ප්‍රකාශනවලට පමණක් වැට බැඳීමට ෆේස්බුක් සමාගම ද කැප වී සිටින්නේ යයි සමූහ දුරකථන සාකච්ඡාවේදී දැනගන්නට ලැබුන බවත් නාලක ගුණවර්ධන සඳහන් කළේය.

'මෘගයෙක්'

මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව වෛරය පැතිරවීම පිණිස ෆේස්බුක් ජාලය "මෘගයෙක් බවට පත් වී" ඇති බව පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබුණි.

රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව වෛරය පැතිරවීමේදී ෆේස්බුක් ජාලය "තීරණාත්මක කාර්යභාරයක්" ඉටු කර තිබෙන බව ද එක්සත් ජාතීන්ගේ පරීක්ෂකයන්ගේ නිගමනය වී තිබේ.

Yanghee Lee said that Facebook had "turned into a beast"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆේස්බුක් ජාලය "මෘගයෙක් බවට පත් වෙලා" - එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය

මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ආගමික පදනමින් හිරිහැර සිදු කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලද 'බ්‍රිට්න් ෆස්ට්' (Britain First) අන්ත දක්ෂිණාංශික සංවිධානයේ ගිණුම් අත්හිටුවීමට පසුගියදා ෆේස්බුක් සහ ට්විටර් සමාගම පියවර ගත්තේය.

ශ්‍රී ලංකාවේ ජන කොටස් සම්බන්ධයෙන් වෛරී අදහස් පැතිරවීමේ යෙදී සිටින අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම ගෙන තිබෙන පියවර ගැන සෑහීමකට පත්විය හැකි දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් ලේඛක නාලක ගුණවර්ධන කියා සිටියේ ඒ පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවය.

"සෑහීමකට පත්වෙන්න බැහැ. මේ දක්වා අරගෙන තිබෙන පියවර මදි, යොමු කරලා තිබෙන අවධානය මදි. 2013 පමණ පටන් අපේ රටේ සිවිල් සංවිධාන, උදාහරණයක් විදියට විකල්ප ප්‍රත්පත්ති කේන්ද්‍රය වැනි සංවිධාන, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය වැනි සංවිධාන මේ පිළිබඳව සාක්ෂි සහිතව, ලේඛනගතව පෙන්වා දීල තියෙනව," යනුවෙන් ඔහු පැවසීය.

"සිංහල භාෂාවෙන් වෛරී ප්‍රකාශ මෙතරම් ප්‍රමාණයක් ගොඩ නැගී පැතිර යන්නට හේතු වුණේ මේ හරහා ගත යුතුව තිබූ පියවර අවශ්‍ය තරම් නොගැනීම නිසයි."

ප්‍රමාද වී හෝ එම අඩු පාඩු සකස් කරගැනීමට ෆේස්බුක් සමාගම දැන් උත්සාහ දරමින් සිටින බවක් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර බ්‍රහස්පතින්දා (මාර්තු 15) ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු වෙත ලිපියක් යොමු කරන ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම, වෛරී භාෂාවට එරෙහිව ප්‍රතිපත්ති සම්පාදනයේදී භාෂණයේ සහ තොරතුරු දැනගැනීමේ නිදහසට සීමා පැනවිය යුත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව නීත්‍යානුකූල රාමුව යටතේ පමණක් බව පෙන්වා දී තිබේ.

එමෙන්ම වර්ගවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සහ වෛරය පැතිරවීම පිණිස සමාජ මාධ්‍ය ජාල යොදාගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නැගීමේ හදිසි අවශ්‍යතාව ද මානව හිමිකම් කොමිසම අවධාරණය කර තිබේ.

තවත් කියවන්න: