මියන්මාරයේ සමූහ මිනීවළක් විමර්ශනය කිරීමේ සූදානමක්

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ යයි පැවසෙන සිය ගණනක් මළසිරුරු ඇතුළත් සමූහ මිනීවළක් සොයාගනු ලැබීම සම්බන්ධයෙන් ලැබෙන වාර්තා මියන්මාරයෙහි ජන සංහාරයක් සිදු කෙරුණ බව තහවුරු කෙරෙන ලකුණක් යයි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නියෝජිතවරියක් පවසයි.

මියන්මාරය භාර එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය වන යැන්ග්හී ලී (Yanghee Lee) ප්‍රකාශයක් කරමින් 'ඇසෝසියේටඩ් ප්‍රෙස්'පුවත් සේවය මගින් හෙළිදරව් කරනු ලැබ ඇති සමූහ මිනීවල පිළිබඳව විමර්ෂණයක් කළ යුතුව ඇතැයි කියා සිටියාය.

අවුන් සාං සුචි විසින් නායකත්වය දෙනු ලබන සිවිල් ආණ්ඩුව තුළ කලින් පැවති යුද හමුදා පාලනය යටතේ සිදු කෙරුණ මර්දනකාරී භාවිතය දිගටම සිදු කෙරෙමින් ඇති බවට එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය අනතුරු ඇඟවීමක් ද කරයි.

එක්සත් ජාතීන්ගේ නියෝජිත යැන්ග්හී ලීට (Yanghee Lee) 'රකයින්' පළාතට ඇතුල් වීමට අවසර දෙනු ලැබීම මියන්මාර් පාලනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

රෝහින්ග්‍යා ජනයාට පමණක් නොව වෙනත් ජන වාර්ගික කොටස් වලටත් මියන්මාර් හමුදාව හිරිහැර කරන බවට යැන්ග්හී ලී (Yanghee Lee) චෝදනා කරන්නීය.

ඇය එම අදහස් පළ කරන ලද්දේ බංග්ලාදේශයේ සහ තායිලන්තයේ අනාථ කඳවුරුවල සංචාරය කරනු ලබීම්න් අනතුරුව මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

මියන්මාර් හමුදා පසුගිය අගෝස්තු මාසයේ 'රකයින්' ප්‍රදේශයේ 'ගු ඩාර් පින්' (Gu Dar Pyin) ගම්මානයට පහර දුන් අවස්ථාවේ එම ජන ඝාතනය සිදු කර ඇති බවට සාක්ෂි ඇති බව 'ඇසෝසියේටඩ් ප්‍රෙස්'පුවත් සේවය පවසයි.

මියන්මාරයේ සිට අසල්වැසි බංග්ලාදේශයට පළා ගොස් සිටින රෝහින්ග්‍යා මුස්ස්ලිම්වරුන් පවසන කරුණු සහ වීඩියෝ පට සමඟ චන්ද්‍රිකා මගින් ලබා ගන්නා ලද දර්ශන පෑහෙන අතර ඉහත සඳහන් සමූහ මිනී වළෙහි හාරසීයක් පමණ මළසිරුරු දමා ඇති බවත් පැවසෙයි.

'ගු ඩාර් පින්' (Gu Dar Pyin) ගම්මානයට කඩා වැදුණ මියන්මාර් හමුදා ඉබාගාතේ වෙඩි තබන ලද බවත්, නිවාස ගිනිබත් කළ බවත් දිවි බේරුණ ගම්වැසියෝ 'ඇසෝසියේටඩ් ප්‍රෙස්' පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

සමූහ ජන ඝාතන සම්බන්ධයෙන් එල්ල වෙන සියලු චෝදනා මියන්මාර් ආණ්ඩුව විසින් බැහැර කරනු ලැබ ඇත.

එහෙත් මියන්මාර් හමුදාව 'රකයින්' පළාතේ එල්ල කරන ලද ප්‍රහාර "වාර්ගික ශුද්ධයක්" ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මින්පෙර විග්‍රහ කරනු ලැබ තිබුණි.

'රකේන්' මෙහෙයුම් සම්බන්ධයෙන් තමන් නිදොස් බව ඔවුන් විසින්ම සිදු කරන ලද විභාගයකින් අනතුරුව මියන්මාර් යුද හමුදාව විසින් නිකුත් කරන ප්‍රකාශනයක සඳහන් විය.

රෝහින්ග්‍යා ජන ඝාතන,ගම්බිම් ගිනිතබා විනාශ කර දැමීම , ගැහැණු ළමුන් සහ වැඩිහිටි කාන්තාවන් දූෂණය කිරීම සහ භාණ්ඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් එල්ල වෙන චෝදනා මියන්මාර් යුද හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

සබැඳි පුවත් ;