මියන්මාරය එක්සත් ජාතීන්ට දොර වසයි

'රකයින්' පළාතේ සිදු කිරීමට සැලසුම් කරමින් තිබුණ සංචාරයක් මියන්මාර් ආණ්ඩුව විසින් අවලංගු කරන ලද බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

රකයින් පළාතේ ජීවත් වූ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බංග්ලාදේශයට පළා යාමෙන් අනතුරුව එම ප්‍රශ්නය නිරීක්ෂණය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන් එම සංචාරය සැලසුම් කර තිබුණි.

සංචාරය අවලංගු කරනු ලැබීමට තුඩු දුන් හේතු මියන්මාර් බලධාරීන් විසින් පැහැදිලි කරනු ලැබ නැතැයි යැන්ගන් හි (Yangon) සිටින එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයකු වන ස්ටනිස්ලාව් සැලින් ( Stanislav Saling) බීබීසියට ප්‍රකාශ කළේය.

ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාට බංග්ලාදේශයට පළා යාමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විභාගයක් පැවැත්විය යුතුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියි.

ප්‍රචණ්ඩ මුහුණුවරක් ගත් මියන්මාර් හමුදා මෙහෙයුමක් හමුවේ රෝහින්ග්‍යා අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාර නිසා දස දහස් සංඛ්‍යාත මුස්ලිම් ජනකායක් මෙන්ම බෞද්ධ සහ හින්දු ජනයා රකයින් පළාතේ තාවකාලික නවාතැන්හි රැඳී සිටිති.

රකයින් පළාතේ ගැටුම් නිසා අසල්වැසි බංග්ලාදේශයට පළා ගිය රෝහින්ග්‍යා මුස්ලිම් ජන සංඛ්‍යාව හාර ලක්ෂයකට අධික යයි ඇස්තමේන්තු කෙරෙයි.

මේ අතර ප්‍රකාශයක් කරන බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයේ ඇමතිවරයකු වන මාර්ක් ෆීල්ඩ් (Mark Field) 'රකයින්' පළාතේ ප්‍රචණ්ඩ ක්‍රියා නතර කිරීමට පියවර ගන්නා මෙන් මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාං සුචි ගෙන් ඉල්ලා සිටියේය.

එසේම 'රකයින්' පළාත සඳහා මානවීය ආධාර සැපයීමට පූර්ණ අවස්ථාව සලසන ලෙසත් බ්‍රිතාන්‍ය ඇමතිවරයා ඉල්ලා සිටියි.

එහෙත් මියන්මාරය තුළ පවතින රෝහින්ග්‍යා විරෝධී දැඩි මතවාදය හමුවේ අවුන් සාං සුචි දුෂ්කර මොහොතකට මුහුණ දී සිටින බවත් ඇමතිවරයා පවසයි.