කොරියානු රාජ්‍යයන් දෙක එක කොඩියක් සෙවණේ ඔලිම්පික් තරඟාවලියට

ලබන පෙබරවාරි මාසයේ දකුණු කොරියාවේ පැවැත්වෙන ඔලිම්පික් ශීත ක්‍රීඩා තරඟ (Winter Olympics) සඳහා සිය ක්‍රීඩකයන් විසි දෙදෙනකු (22) සහභාගී කරන බව උතුරු කොරියාව පවසයි.

එම එකඟතාවය ඇති වී තිබෙන්නේ දෙරටේ ක්‍රීඩා ඇමතිවරුන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ(IOC) නියෝජිතයන්ගේ ද සහභාගිත්වයෙන් ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුන සාකච්ඡාවකදීය.

වසර දෙකක කාලයකට පසුව කොරියානු රාජ්‍යයන් දෙක අතර සිදු වූ ඉහළම මට්ටමේ හමුව එයයි.

පෙබරවාරි ඔලිම්පික් ශීත ක්‍රීඩා තරඟාවලිය සඳහා උතුරු කොරියාවේ සහභාගිත්වය පිළිබඳව අද සෙනසුරාදා (ජනවාරි 20) ස්විට්සර්ලන්තයේ පැවැත්වූ සාකච්ඡාව සංවිධානය කරන ලද්දේ ජාත්‍යන්තර ඔලිම්පික් කම්ටුව (IOC) විසිනි.

මෙවර ඔලිම්පික් ශීත තරඟාවලිය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ 'ප්යෝන්ග්චෑන්' (Pyeongchang) නගරයේය.

පෙබරවාරි නව (09) වෙනිදා තරඟාවලියේ සමාරම්භක උත්සවයේ දී කොරියානු රාජ්‍යයන් දෙකේ ක්‍රීඩකයන් ආචාර පෙළපාලියේ එකට ගමන් කරනු ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පවසයි.

සභාපතිවරයා විසින් එම එකඟතාව විග්‍රහ කරන්නේ දීර්ඝ චාරිකාවක ඉදිරි පියවරක් හැටියටයි.

කාන්තා 'අයිස් හොකි' තරඟයේ දී කොරියානු රාජ්‍යයන් දෙකේ ක්‍රීඩිකාවන්ට එකම කණ්ඩායමක් ලෙස තරඟ වැදීමට අවසර දෙනු ඇතැයි ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පවසයි.

ශීත ඔලිම්පික් තරඟාවලිය නිමිත්තෙන් ප්‍රකාශිත 'කොරියානු අර්ධද්වීපයේ ඔලිම්පික් ප්‍රකාශනයේ මෙසේ සඳහන් වෙයි.

"කාන්තා අයිස් හොකි ඒකාබද්ධ කණ්ඩායම; දකුණු කොරියාවේ විසිතුන් දෙනකුගෙන් සමන්විත කාන්තා කණ්ඩායමට උතුරු කොරියාවෙන් ක්‍රීඩිකාවන් දොළොස් දෙනකු සහ එක් නිලධාරියකු එක් කෙරෙනු ඇත. කණ්ඩායමේ පුහුණුකරු ලෙස දකුණු කොරියානු කණ්ඩායමේ පුහුණුකරු කටයුතු කරනු ඇත. එහෙත් තරඟ සඳහා සහභාගී කරනු ලබන ක්‍රීඩිකාවන්ට අඩු තරමින් උතුරු කොරියානු ක්‍රීඩිකාවන් තුන් දෙනකුවත් ඇතුළත් විය යුතුය"

මෙවර තරඟාවලියේ දී උතුරු කොරියාව හිම මත ලිස්සා යාමේ තරඟ ඉසව් සඳහාත් ක්‍රීඩකයන් සහභාගී කරනු ඇත.

එසේම 'එක්සත් ධජයක් යටතේ' මේ තරඟාවලියට සහභාගී වීමටත් කොරියානු රාජ්‍යයන් දෙක එකඟව සිටිති.

තරඟාවලිය අතරවාරයේ පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනයක් පිළිබඳව සාකච්ඡා කිරීමේ හමුවක් ද කොරියානු රාජ්‍යයන් දෙක අතර සැලසුම් කර තිබුණත් උතුරු කොරියාව විසින් එම හමුව අවලංගු කරන ලද බවක් ද වාර්තා වෙයි.

එම අවලංගු කිරීමට තුඩුදුන් කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් දකුණු කොරියාව ඉල්ලා සිටියි.

ශීත ඔලිම්පික් සංස්කෘතික සංදර්ශනය පැවැත්වෙන වේදිකාව පරීක්ෂා කිරීම සඳහා සත් පුද්ගල දූත මණ්ඩලයක් එවන බවට 'ප්යෝන්ග්යැන්' බලධාරීන් එකඟ වී සිටියත් එම සංචාරය අත්හිටවන ලද බව පසුව ඔවුන් දකුණු කොරියාවට දැනුම් දී ඇත.

ඊට බල පෑ කරුණු පැහැදිලි කරන ලෙස 'සෝල්' පාලනය ඉල්ලා සිටියත් කිම් ජොන් අන් නායකත්වය දෙන 'ප්යෝන්ග්යැන්' පාලනයෙන් ඒ සඳහා තවමත් පිළිතුරක් ලැබී නැති බවත් වාර්තා වෙයි.

සබැඳි පුවත්;