ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෝචි ඔලිම්පික් උළෙලේ තහනම් උත්තේජක: 'රාජ්‍ය අනුග්‍රහයෙන්'
2014 සෝචි හිම ඔලිම්පික් උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් උත්තේජක ලබා දීමේ වැඩසටහනක් රුසියානු ආණ්ඩුව රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කළ බව නව වාර්තාවක් පවසයි.
රුසියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ලබා දුන් මුත්‍රා සාම්පලවල අන්තර්ගතය වෙනස් කිරීමේ ක්‍රියාදාමයක් රුසියාවේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද බවයි ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය හෙවත් WADA ආයතනය විසින් පවත්වන ලද පරීක්ෂණයක නිගමණය වී තිබෙන්නේ.
ඔලිම්පික් උලෙලට පෙර රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවකට තහනම් උත්තේජක ලබා දුන් බවට රුසියාවේ තහනම් උත්තේජක නිවාරණ විද්‍යාගාරයේ හිටපු ප්‍රධානියා විසින් කරන ලද ප්‍රකාශයකින් අනතුරුවයි එම පරීක්ෂණය දියත් කෙරුණේ.
තමන්ට ඒ සඳහා රුසියාවේ රහස් ඔත්තු ආයතනයේ සහායද ලැබුණු බවත් ග්‍රිගෝරි රොද්ෂෙන්කෝ පවසා තිබුණි.
'කාර්යක්ෂම ක්‍රමවේදයක්'
ක්‍රීඩකයන්ගේ මුත්‍රා සාම්පල රැගත් බෝතල් විවෘත කොට, වෙනත් මුත්‍රා ඇතුලත් කර යළි සීල් තැබීමේ ක්‍රමවේදයක් තමන් සොයා ගත් බවයි ග්‍රිගෝරි රොද්ෂෙන්කෝ පවසා තිබුණේ.
ලබන අගෝස්තු පස් වැනි දින බ්‍රසීලයේදී ආරම්භ වන ඔලිම්පික් උළෙලට සහභාගි වීම ජාත්‍යන්තර ආධුනික මලල ක්‍රීඩා සම්මීලනය විසින් රුසියාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැනටමත් තහනම් කරනු ලැබ තිබේ.
එහෙත් එම තීන්දුව එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට රුසියාවේ මලල ක්‍රීඩා සම්මේලනය බලාපොරොත්තු වෙයි.
WADA ආයතනය නිකුත් කළ මේ වාර්තාවත් සමඟම රියෝ ඔලිම්පික් උළෙල රුසියාවට සම්පූර්ණයෙන්ම තහනම් කරන මෙන් කෙරෙන ඉල්ලීම් උත්සන්නවීමට ඉඩ තිබේ.
අවසාන තීරණය කවරක් වුවත්, තහනම් උත්තේජක ආන්දෝලනයට සම්බන්ධයක් නොමැති බව සනාථ කළ හැකි රුසියාවේ ක්‍රීඩකයන් සුළු පිරිසකට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ධජය යටතේ රියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා අවසර ලැබේ.