දිළිඳු දරුවන් වෙනුවෙන් දරුවන් වැඩෙන විට "වැඩෙන" පාවහන්

පාවහන්

කුඩා දරුවන් ඉතා ඉක්මනින් වැඩෙන බැවින් දෙමාපියන්ට නිරන්තරයෙන් ඔවුන් සඳහා අලුතෙන් පාවහන් මිලදී ගැනීමට සිදු වේ.

ලොව බොහෝ රටවල දිළිඳු පවුල් දෙමාපියන්ට එසේ නිරතුරුව පාවහන් මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැති බව රහසක් නොවේ.

විශේෂයෙන්ම කෙන්යාවේ කිබෙරා වැනි පළාත්වල දරුවන් පාවහන් තොරව ඇවිදීම ඉතා භයානක විය හැකිය.

දිළිඳු පවුල්වල දෙමාපියන් මුහුණදෙන මේ ගැටලුවට විසඳුමක් සොයාගත් බව පුණ්‍යායතනයක් පවසයි.

වීඩියෝ ශීර්ෂ වැකිය, "මට ෆුට්බෝල් ගහනකොටත් ඒව දාන්න පුළුවන්"

දරුවන් වැඩෙන විට "වැඩෙන" පාවහන් ඔවුන්ගේ ඒ විසඳුමය.

දරුවන් වැඩෙන විට එම පාවහන්වල ප්‍රමාණය පස් වතාවක් වෙනස් කළ හැකිය. විවිධ වයස් කාණ්ඩවලට සරිලන ආකාරයට ඒවා ප්‍රමාණ තුනකින් නිෂ්පාදනය කෙරේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සැලසුම් කළ එම පාවහන් නිෂ්පාදනය කරනු ලබන්නේ චීනයේ සහ ඉතියෝපියාවේය.

පාවහන් යුගලක් නිපදවීම සඳහා ඇමෙරිකානු ඩොලර් 15ක් වැයවන නමුත් පුණ්‍යායතනය විසින් එය දරුවන්ට බෙදා දෙනු ලබන්නේ නොමිලේය.

පාවහන්

එමෙන්ම අනෙක් බොහෝ පාවහන්වලට වැඩි කලක් මේ පාවහන් භාවිත කළ හැකි බව එය නිපදවන The Shoe That Grows සමාගම පවසයි.

"ඒවා හරිම හොඳයි. මට ෆුට්බෝල් ගහනකොටත් ඒවා දාන්න පුළුවන්," පාවහන් යුගලක් පැළඳි දරුවෙක් සතුටෙන් පැවසීය.

"බෝලෙට ගැහුවත් සපත්තුව විසි වෙන්නේ නෑ."