ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිම්බාබ්වේ නව ජනපති දිව්රුමට මුගාබේ නැහැ
සිම්බාබ්වේ අභිනව ජනාධිපති එමර්සන් මනන්ගග්වා මහත් උත්සවශ්‍රීයෙන් පදවියේ දිව්රුම් දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින බවට සහ රටේ පුරවැසි මානව හිමිකම් තහවුරු කරන බවට ප්‍රතිඥාවක් දුන්නේය.
හරාරේ අගනුවර ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වුනු එම උත්සවයට දස දහස් සංඛ්‍යාත ජනකායක් සහභාගී වෙමින් සිටි අතර සිය රට වෙනුවෙන් වෙහෙස නොබලා ක්‍රියා කරන බව අභිනව ජනාධිපතිවරයා කියා සිටියේය.
හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ උප ජනාධිපතිවරයා වූ එමර්සන් මනන්ගග්වා, මෙයින් සති දෙකකට පමණ කාලයකට පෙර එම පදවියෙන් නෙරපා හරිනු ලැබීමෙන් අනතුරුව රටින් පළාගොස් දකුණු අප්‍රිකාවේ සැඟවී සිටි අතර පසුගිය බදාදා (නොවැම්බර් 22) ඔහු සියරට යළි ළඟා වුණේ රොබට් මුගාබේ පදවියෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.
අනූ තුන්වෙනි වියේ පසුවෙන හිටපු ජනාධිපති මුගාබේ මෙම දිව්රුම් දීමේ අවස්ථාවට සහභාගී වනු ඇතැයි අදහස් පැතිර යමින් තිබුණද ඔහු එහි දක්නට නොලැබුණි.
ඇතැම් වාර්තාවන්ට අනුව යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසු නොවන නිසා මුගාබේ එම අවස්ථාවට සහභාගී නොවූ බව කියැවේ.
එහෙත් මේවනවිට රොබට් මුගාබේ වෙනුවෙන් උපරිම ආරක්ෂක විධිවිධාන යොදා ඇති බවද වාර්තා වේ.
මුගාබේ විසින් සිය උප ජනාධිපතිවරයා වූ එමර්සන් මනන්ගග්වා පදවියෙන් ඉවත් කරන ලද්දේ සිය බිරිඳ වන ග්‍රේස් මුගාබේ ජනාධිපති පදවියට ගෙන ඒමේ සැලැස්මක් අනුව බවද පැවසේ.
රට තුළ මුල්බැස ගෙන පවතින "දූෂණ සංස්කෘතිය" මුලිනුපුටා දමන මෙන් සිම්බාබ්වේ විපක්ෂය අභිනව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත.
එමර්සන් මනන්ගග්වා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව සිම්බාබ්වේ නිදහස් අරගලය දියත් වූ 1970 දශකයේ පටන් රොබට් මුගාබේ සමග එකට සටන් වැදුනු සගයකු විය.
ඔහු තම නායකයා වන මුගාබේ පදවියෙන් නෙරපා හැරීමට මුල් වුනත්, 1980 දශකයේ පටන් පාලක සානු-පීඑෆ් පක්ෂය යටතේ සිදු කරන ලද අපරාධ සහ සාහසික ක්‍රියාවන්ට හවුල් වූ කණ්ඩායමක් තවමත් එමර්සන් මනන්ගග්වා සමඟ කටයුතු කරමින් සිටිති.
රොබට් මුගාබේ පාලනය ආරම්භයේ දී 1980 දශකයෙහි රට තුළ පැන නැගුණ අභ්‍යන්තර සිවිල් අර්බුද සමයේ දී එමර්සන් මනන්ගග්වා සිම්බාබ්වේ බුද්ධි අංශයේ ප්‍රධාන විශේෂඥයා හැටියට කටයුතු කර ඇත.
සිම්බාබ්වේ දේශපාලනය තුළ ඔහු හඳුන්වනු ලබන්නේ කිඹුලා (CROCODILE) යන ආරූඪ නාමයෙනි.
එහෙත් තමා එවක සිදු වූ ජන ඝාතනවලට හවුල් නොවූ බව කියා සිටින මනන්ගග්වා එම අපරාධ සම්බන්ධයෙන් යුද හමුදාවට ඇඟිල්ල දිගු කරයි.
මේ අතර බ්‍රහස්පතින්දා (නොවැම්බර් 23) පොලිසියට භාරදුන් සිම්බාබ්වේ හිටපු මුදල් ඇමති ඉග්නේසියස් චොම්බෝ, හමුදා අත්අඩංගුවේ සිටියදී පහර දීමට ලක්ව ඇතැයි හිටපු ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා කියා සිටී.
හිටපු මුදල් ඇමතිවරයාට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී ඇත.
මුගාබේ අතින් වැරදි සිදුව ඇති නමුත් ඔහු සිම්බාබ්වේ ජාතියේ පියා හැටියට එමර්සන් මනන්ගග්වා විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.
සබැඳි පුවත්;