සිම්බාබ්වේ: එමර්සන් මනන්ගග්වා 'ජනපති ධුරයේ දිව්රුම් දීමට නියමිතයි'

සිම්බාබ්වේ හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගග්වා එරට නව ජනාධිපතිවරයා වශයෙන් පත්වනු ඇති බවට ජනතාව අතර බලාපොරොත්තු පළ වේ.

මීට සති දෙකකට ඉහත දී ධුරයෙන් ඉවත් කරන ලද හිටපු උප ජනාධිපතිවරයා දකුණු අප්‍රිකාවට ගොස් සිටියේ තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බව පවසමිනි.

ඔහු නැවත සිම්බාබ්වේ වෙත පැමිණ පැය කිහිපයක් ඇතුළත ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇති බව පාලක සානු පීඑෆ් පක්ෂය කියා සිටියේය.

වසර 37 රට පාලනය කළ ජනාධිපති රොබට් මුගාබේ ධුරයෙන් ඉවත්වන බව එරට කථානායකවරයා විසින් අඟහරුවාදා (නොවැ 21) නිවේදනය කරනු ලැබීය.

කලක් සිය දකුණු අත ලෙස කටයුතු කළ එමර්සන් මනන්ගග්වා ධුරයෙන් ඉවත් කර තම බිරිඳ වන ග්‍රේස් මුගාබේ වෙත පක්ෂ නායකත්වය සහ ජනාධිපති ධුරය ලබා දීම සඳහා රොබට් මුගාබේගේ සහාය හිමිවනු ඇති බවට ඉඟි පළ වීමත් සමග සිම්බාබ්වේ හමුදාව විසින් එරට පාලන බලය පවරා ගනු ලැබීය.

2018 වසරේ සැප්තැම්බර් පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණය තෙක් එමර්සන් මනන්ගග්වා ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇති බව පාලක සානු පීඑෆ් පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර රොබට් මුගාබේ ධුරයෙන් ඉවත්වන බව ප්‍රකාශයට පත් කිරීමත් සමග ජනතාව ප්‍රීති ඝෝෂා නගමින් සතුටුවන ආකාරය දැකගත හැකි විය.

නමුත් එමර්සන් මනන්ගග්වා වෙත රටේ පාලනය ලබා දීම තුළින් වෙනසක් සිදුවනු ඇත්දැයි ඇතැම් පිරිස් ප්‍රශ්න කරති.

සිම්බාබ්වේ විපක්ෂ නායක මෝගන් චංගිගිරායි මේ අතර කියා සිටියේ නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා අවශ්‍ය රාමුවක් සැකසීම සඳහා කාලය එළඹ ඇති බවය.

රොබට් මුගාබේගේ දේශපාලන දිවියේ ගමන්මග

  • 1924 - කුටාමාහි උපත ලැබීය
  • 1964 - රොඩේසියානු ආණ්ඩුව විසින් සිරගත කරනු ලැබිණි
  • 1980 - නිදහසින් පසු පැවති මැතිවරණය ජය ලැබීය
  • 1996 - ග්‍රේස් මරුෆු හා විවාහ විය
  • 2000 - ජනමත විචාරණයෙන් පරාජයට පත්විය, මුගාබේ හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් සුදු ජාතිකයන්ට අයත් ගොවිපලවල් ආක්‍රමණය කරන ලද අතර විපක්ෂ කණ්ඩායම්වලට පහර දෙනු ලැබීය
  • 2008 - මැතිවරණයේ පළමු වටයේ දී මෝගන් චංගිගිරායි ඉහළට පැමිණි අතර විපක්ෂ ආධාරකරුවන්ට පහර දීමත් සමග ඔහු මැතිවරණ සටනින් ඉවත් විය
  • 2009 - ආර්ථිකය කඩා වැටිණි, මෝගන් චංගිගිරායි අගමැති ධුරයට පත් වූ අතර ජාතික ආණ්ඩුවේ රැඳෙමින් වසර හතරක් ඔහු එම ධුරයේ රැඳී සිටියේය
  • 2017 - දීර්ඝ කාලීන සමීපතමයෙකු වූ එමර්සන් මනන්ගග්වා උප ජනාධිපති ධුරයෙන් ඉවත් කරන ලද අතර සිය බිරිඳ වෙත ජනාධිපති ධුරය ලබා දීම සඳහා මග විවර කරනු ලැබීය. හමුදාව විසින් රටේ පාලන බලය පවරා ගනු ලැබූ අතර මුගාබේට ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට සිදුවිය

සබැඳි යොමු: