ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉල්ලා අස්වීමට ලබා දුන් අවසාන කාලය මුගාබේ නොතකා හරියි
සිය පක්ෂ නායක ජනාධිපති රොබට් මුගාබේගේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සිම්බාබ්වේ පාලක සානු-පීඑෆ් පක්ෂය සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැඳවා තිබේ.
ධුරයෙන් ඉවත්වීම සඳහා සානු-පීඑෆ් පක්ෂය විසින් ජනාධිපති මුගාබේ වෙත ලබා දෙන ලද කාල සීමාව සඳුදා (නොවැ 20) අවසන් විය.
ඉරිදා රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වූ ජනාධිපති මුගාබේ තමන් තවදුරටත් සිය ධුරයේ කටයුතු කරන බව අනපේක්ෂිත ලෙස නිවේදනය කළේය.
ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා සිය සහාය හිමිවන බව පවසන සානු-පීඑෆ් පක්ෂය පාර්ලිමේන්තුව රැස් වී අඟහරුවාදා වනවිට ඒ සඳහා අවශ්‍ය පියවර ගනු ඇති බව සඳහන් කරයි.
ජනාධිපති මුගාබේ නිවාස අඩස්සියට පත් කරන ලද සිම්බාබ්වේ හමුදාව විසින් පසුගියදා එරට පාලන බලය පවරා ගනු ලැබීය.
"රට තුළ පවතින පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීමට" ජනාධිපති මුගාබේ වගකිවයුතු බව ඔහුගේ පක්ෂය විසින් සකසන ලද දෝෂාභියෝග යෝජනාවේ කෙටුම්පතක සඳහන්ව ඇති අයුරු රොයිටර් පුවත් සේවයට දැක ගැනීමට ලැබිණි.
ජනාධිපති මුගාබේගේ 37 වසරක පාලනය අවසන් කළ යුතු බව ඉල්ලා මහා ජනකායක් පසුගිය දින කිහිපය තුළ වීදි බැස උද්ඝෝෂණ කළහ.
යුද හමුදාව විසින් රටේ පාලනය බලය පවරා ගනු ලැබුවේ නොවැම්බර් 15 වෙනිදාය.
ඉන් අනතුරුව රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සිම්බාබ්වේ හමුදාව කියා සිටියේ තමන් තාවකාලිකව රටේ පාලන බලය පවරා ගනු ලැබූ බවය.
එමෙන්ම ජනාධිපති මුගාබේ වටා සිටි "අපරාධකරුවන් පමණක් සිය ඉලක්කය" වනු ඇති බවත් හමුදාව සඳහන් කළේය.
සිම්බාබ්වේ උප ජනාධිපති එමර්සන් මනන්ගාවා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මුගාබේ මීට ඉහතදී පියවර ගෙන තිබු අතර ඉන් පසු සානු-පීඑෆ් පක්ෂයේ නායකත්වය සහ ජනාධිපති ධුරය සිය භාර්යාව වන ග්‍රේස් මුගාබේ වෙත ලබා දීමට සහාය දක්වන බවට ඉඟි කිරීමත් සමග සිම්බාබ්වේ හමුදාව විසින් එරට බලය සියතට පවරා ගනු ලැබීය.
සබැඳි යොමු: