ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිම්බාබ්වේ: රොබට් මුගාබේට පක්ෂ නායකත්වය අහිමි වේ, බිරිඳත් නෙරපයි
ජනාධිපති රොබට් මුගාබේ සිය පක්ෂ නායකත්වයෙන් නෙරපීමට සිම්බාබ්වේ හි පාලක සානු-පීඑෆ් පක්ෂය තීරණය කළ බව බලධාරීහු පවසති.
ඒ වෙනුවට හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගග්වා (Emmerson Mnangagwa) පක්ෂ නායකත්වයට පත් කර තිබේ.
මීට සති දෙකකට ඉහතදී ජනාධිපති මුගාබේ විසින් උප ජනාධිපතිවරයා පදවියෙන් පහ කරනු ලැබීම රටේ අසාමාන්‍ය දේශපාලන සිදුවීම් මාලාවකට තුඩු දුන්නේය.
ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ බිරිඳ, ග්‍රේස් මුගාබේ, උප ජනාධිපති පදවියට පත්කිරීමේ උත්සාහය වැළැක්වීම පිණිස හමුදාව මැදිහත් විය.
ජනපති බිරිඳ පක්ෂයෙන් නෙරපා හැරීමට ද සානු-පීඑෆ් පක්ෂය තීරණය කර තිබේ.
සබැඳි යොමු:
පක්ෂයේ තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමගම ජනතාව ප්‍රීතියෙන් නටමින්, ගී ගයන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පක්ෂ සමුළුව වාර්තා කරමින් සිටින බීබීසී වාර්තාකරු Andrew Harding ට්විටර් ජාලය ඔස්සේ බෙදා හැර තිබේ.
සඳුදා වන විට ජනාධිපති පදවියෙන් ඉල්ලා අස් වන මෙන් හෝ නොඑසේනම් දෝෂාභියෝගයකට මුහුණ දීමට සූදානම් වන මෙන් පක්ෂ ආධාරකරුවන් ඔහුට අවසාන කාල නියමයක් ලබා දුන් බවත් බීබීසී වාර්තාකරු පවසයි.
ජනාධිපතිවරයා ඉරිදා (නොවැම්බර් 19) හමුදා නායකයන් මුණගැසීමට නියමිත අතර, මෝටර් රථ පෙළක් ඔහුගේ නිල නිවසේ සිට පිටත්ව යන ආකාරය දැකගන්නට ලැබුණි.
රොබට් මුගාබේ පදවියෙන් ඉවත්ව යා යුතු බවට බල කරමින් දස දහස් ගණනක් උද්ඝෝෂකයෝ සෙනසුරාදා හරාරේ අගනුවර පෙළපාලි දැක්වූහ.
ජනාධිපතිවරයා රැඳී සිටින ඔහුගේ පෞද්ගලික නිවස ඉදිරිපිටට රැස් වූ එම උද්ඝෝෂකයන් ජනාධිපති නිවසේ ගේට්ටුව අසල සිට සටන් පාඨ කියමින්, ගී ගයමින් "මේ ඔබ ඉවත්ව යායුතු මොහොත" යයි බල කරමින් සිටියහ.
"මුගාබේ යා යුතුයි," සහ "මෙය අපේ විප්ලවයයි" යනුවෙන් ලියැවුන බැනර් ද ඒ අතර තිබිණ.
සිම්බාබ්වේ හි සිදු වූයේ කුමක්ද?
- මීට සති දෙකකට ඉහතදී ජනාධිපති මුගාබේ සිය උප ජනාධිපති එමර්සන් මනන්ගග්වා පදවියෙන් පහ කළේය. ඉන්පසුව ඔහු රටින් පලා ගියේය
- පක්ෂ ක්‍රියාකාරිකයන්ට එරෙහි මර්දනය නැවැත්වීම පිණිස හමුදාවට මැදිහත්වීමට සිදු වනු ඇතැයි හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානී ජනරාල් කොන්ස්තන්තීනෝ චිවෙන්ගා පසුගිය සඳුදා අනතුරු ඇඟවීය
- ඉන් අනතුරුව හමුදා සොල්දාදුවෝ පසුගිය බදාදා අගනුවර රාජ්‍ය රූපවාහිනී මධ්‍යස්ථානය අත් පත් කරගත්හ
- එවක් පටන් නිවාස අඩස්සියේ පසු වෙන රොබට් මුගාබේ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ එක් වතාවක් පමණි
- ඒ අතර පෙර නොවූ විරූ ආකාරයෙන් සෙනසුරාදා මහජනතාව වීදි බැසීමත් සමග ඔහුගේ බලය තවත් හීනවෙමින් පවතී